වනාන්තර විශ්වකෝෂය – තුල්සි ගෞඩා

වනාන්තර විශ්වකෝෂය – තුල්සි ගෞඩා

1944 වසරේදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයට අයත් උතුරු කණ්ණඩ දිස්ත්‍රික්කයේ, අංකෝලා තාලුකයේ, හොනල්ලි ගම්මානයේ හලක්කි ගෝත්‍රික මවකට දැරියක් උපදිනවා.

මාපියන් ඈ ”තුල්සි ගෞඩා” ලෙස නම් තබනවා.

හක්කලි ගෝත්‍රික සම්ප්‍රදාය අනුව අලුතින් උපදින දරුවන්ට නම් තැබීමේ දී ඔවුහු ”ගසක නමක්” දරුවාගේ නමේ කොටසක් ලෙස යොදනවා.


මුළුමහත් ඉන්දියාව ම පූජනීය ගසක් ලෙස සළකන ”තුල්සි” යන නාමය යොදා ඇයට තුල්සි යනුවෙන් නම් තැබුවා.

තම අලුත උපන් දියණිය දිනෙක ”ගෞරවනීය කාන්තාවක වේවා” යන ආශීර්වාදය එහි සැඟවුණු අර්ථය වුණා.

”ගෞඩා” යනු ඇයට සිය පවුලෙන් උරුම වූ නම .

ඇගේ පියා ඇයට වයස අවුරුදු 2 දී මිය යනවා.

ඇයගේ මව තාවකාලික කම්කරු රැකියාව කළේ, ගමේ තිබුණු රජයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පැළ තවානේ.

ඇය කුඩා තුල්සි ද රැගෙන එහි වැඩට ගියා.

එහිදී ඇය පැළ බෝකිරීම, තවාන් දැමීම සහ සංරක්ෂණය පිළිබඳ ව ඉගෙන ගන්නවා.

ඒ අතර තරමක් වැඩුණු තුල්සිට එහි තාවකාලික කම්කරු රැකියාවක් ලැබෙනවා.

හක්කලි ගෝත්‍රික චාරිත්‍ර අනුව, ඇගේ වයස අවුරුදු 12 දී ගොවින්දා ගෞඩා සමග ඇය විවහා වෙනවා.


නමුත් ඇය රජයේ පැළ තවානේ රැකියාව දිගට ම කරගෙන යනවා.

අවුරුදු 35 කට පසු ව එහි ස්ථිර කම්කරුවකු ලෙස ඇය බඳවා ගන්නේ “දැනුම සහ කැපවීම” යන කාරණා සලකා ගෙනයි.

ටිකෙන් ටික ඇයට ප්‍රසිද්ධිය සහ සමාජ පිළිගැනීම ලැබෙන්නට වුණා.

1986 දී ඉන්දිරා ප්‍රියදර්ශනී වෘක්ෂමිත්‍ර සම්මානය, 1999 කණ්ණඩ රාජ්‍ය උත්සව සම්මානය තුල්සිගේ දුසිමකට වැඩි සම්මාන ලයිස්තුවේ සම්මාන කිහිපයක්.


”කිසිදා පාවහන් නොපැළඳි” පරිසරවේදිනියක ලෙස, ඇගේ දැනුම ගැන දන්නා පර්යේෂකයන්ට සහ පරිසරවේදීන්ට ගෞඩා යනු ”වනාන්තරයේ විශ්වකෝෂය” යි.

හලක්කි ප්‍රජාවේ සාමාජිකයන්ට, ඇය ”වෘක්ෂ දේවතාවියක්”.

අඩ සියවසක් පුරා, තුල්සි ගෞඩා ගේ ජීවිතය ගෙවුනේ හොනල්ලි ගම්මානයේ”අගසුර්” පැළ තවානේ.

වන දෙපාර්තමේන්තුවේ සේවිකාවක් ලෙස සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, ඇය තම කුඩා මී මුණුබුරන් තිදෙනාට ආදරණීය අත්තම්මා වී සැහැල්ලුවෙන් සැදෑසමය ගෙවනවා.

දශක හයකට ආසන්න සිය වෘත්තීය ජීවිතය තුළ තුල්සි ගෞඩාගේ අතින් ගස් තිස්දහසකට වඩා සිටුවා ඇති බවත්, ඈ බෙහෙත් පැළෑටි හෝ ගස් වර්ග හඳුනා ගැනීමේ හැකියාව අතින් කර්ණාටක පළාතේ ඉදිරියෙන් ම සිටින කාන්තාවක් බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

තුල්සි ගෞඩා කිසි දිනක විධිමත් අධ්‍යාපනයක් ලබා නොගත්ත ද, අද වන විට ලොව පුරා ප්‍රචලිත ව ඇත්තේ ශාක හා ඖෂධ පැළෑටි පිළිබඳ ‘අනන්ත දැනුමක් ඇති ‘වනාන්තර විශ්වකෝෂය ලෙසයි.

රාෂ්ට්‍රපති භවන්හි දී 2020 වසර සඳහා පැවති ”පද්ම සම්මාන” උත්සවයේදී ඈ ”පද්ම ශ්‍රී” සම්මානයෙන් පිදුම් ලැබුවා.


පාවහන් නොමැතිව, සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී සිටි තුල්සි ගෞඩා, ජනාධිපති රාම් නාත් කෝවින්ද් අතින් ඉන්දියාවේ සිව්වන ඉහළ ම සිවිල් සම්මානය ලබා ගත්තා.

Share This