IMF තාක්ෂණික සාකච්ඡා අදින් අවසන්

IMF තාක්ෂණික සාකච්ඡා අදින් අවසන්

ශ‍්‍රී ලංකාවේ ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා අදින් අවසන් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එහි ප‍්‍රකාශක ගෙරී රයිස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.

මෙරට ආර්ථික සංවර්ධනය හා දේශපාලනික තත්වය සමීපව නිරීක්ෂණය කරමින් පවතින බවද ඔහු අවධාරණය කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රතිපත්තිවලට අනුව ශ‍්‍රී ලංකාවට උපකාර කිරීමට කැපවී සිටින බවයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කරන සාකච්ඡා ඇතුළු පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් දැනට ගැනීමට නියමිත ක‍්‍රියාමාර්ග ඉදිරි මාස 6 තුළ දී සාර්ථක වුවහොත් ආර්ථිකයේ ස්ථාවරත්වයක් අපේක්ෂා කළ හැකි බව මහබැංකු අධිපතිවරයා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළ කරනවා.

ඔහු මෙම අදහස් පළකළේ කොළඹ පැවති විශේෂ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ආර්ථිකය ගොඩගැනීම සම්බන්ධයෙන් ගැනීමට නියමිත සියලු තීන්දු තීරණ සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

මේ අතර වත්මන් ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රධානීන් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අද දිනයේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැදවා තිබෙනවා.

ඒ අනුව පෙරවරු 10 ට ඔවුන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඔවුන් මෙලෙස කැඳවා ඇත්තේ වත්මන් ආර්ථික අර්බුදය හා ඒ සඳහා ඇති විසදුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවයි මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ප‍්‍රකාශ කලේ.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රධානීන් රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට මීට පෙරද කැඳවා තිබුණා.

Share This