72 වන උපන් දිනයට අනිල් භාරතී ට හිමි වූ තෑග්ග

72 වන උපන් දිනයට අනිල් භාරතී ට හිමි වූ තෑග්ග


ප්‍රවීන ගායන ශිල්පී අනිල් භාරතී පදිංචි වෙලා ඉන්නේ පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ.

එම ප්‍රදේශය මේ ආදරණීය කලාකරුවාට දක්වන ගෞරවයක් විදිහට “අනිල් භාරනී පෙදෙස” ලෙස අද නම් කෙරුනේ ඔහුගේ 72 වැනි ජන්ම දිනය නිමිති කර ගනිමින්.

ඒ පානදුර නගරාධිපති නන්දන ගුණතිලක මහතාගේ ද සහභාගීත්වයෙන්.

1950 ජනවාරි 08 වනදා උපන් අනිල් භාරතී,1965 දී වගේ ගීත ගායනයට එක්වූවා.

පානදුර ප්‍රදේශයෙන් බිහිවූ සංගීත කණ්ඩායමක් වන ‘Rangers’ සමග බටහිර ගීත ගයමින්, ගී ලොව ජනප්‍රිය වෙමින් සිටියා.

ඒ අතර තුර ලේක් හවුස් ආයතනය මෙහෙයවූ ‘Observer Talent Search’ නම් දීපව්‍යාප්ත වැඩ සටහනේ ගීත ගායනයට එක්ව අවසන් වටයටත්, ඉන් අනතුරුව පානදුර සිංහ සමාජය මෙහෙයවූ ගී ගායන තරඟාවලියෙන් පළමු ස්ථානයත් හිමිකර ගන්නටත් අනිල් භාරතී සමත් වුනා.

1971 වන විට, ක්ලැරන්ස් විජේවර්ධන Moonstones සංගීත කණ්ඩායමෙන් ඉවත්ව, Golden Chimes සංගීත කණ්ඩායම පිහිටුවා තිබුණා.

ක්‌ලැරන්ස්ගේ ආරාධනයෙන් අනිල් Golden Chimes හි බටහිර ගීත ගයන්නට සම්බන්ධ වුනා.

වසරක පමණ ඇවෑමෙන් සිංහල ගීත ගායන ශිල්පියෙක් ලෙසින් අනිල් හඳුන්වා දෙන්නට සිතු ක්ලැරන්ස්, ‘අද වෙයි ඉරු දින’ නම් ගීය ලියා සංගීතවත්කොට, ගායනා කරවුවා.

එය අනිල් භාරතී ගේ පළමු සිංහල ගීතයයි.

මේ ආකාරයෙන් සිංහල ගී ගයන්නට එක්වූ අනිල් ට, ක්ලැරන්ස් අපූරු ගීත ගොන්නක් නිර්මාණය කර දුන්නා.

මා ආදරෙයි නංගියෙ, ටිකිරිමලී, දෑස විදාලා, ඉරුදින පමණක් නොව, හිරු ඉපදෙන විට, සීතල සඳ එළියේ, රෝසී, පුංවි ගිරවෝ, බෙත්ලෙහෙම්පුරේ ආදී එදා මෙදාතුර අතිශය ජනප්‍රිය ගීත ගොන්නකින් රසික හදවත් තුළ ලැඟුම් ගන්නට අනිල් සමත් වී තිබෙනවා.

‘බෙලෙහෙම්පුරේ..’ ගීතය ක්ලැරන්ස් ගේ එක්තරා Experiment එකක ප්‍රතිඵලයක් බවයි අනිල් භාරති සඳහන් කළේ.

නත්තලට ගීතයක් අන්‍යාගමිකයෙකු ලවා ලියවා ගන්නටයි ක්ලැරන්ස් ට අවශ්‍ය තිබුනේ.

ඒ ගැන කරුණාරත්න අබේසේකර සූරීන්ට දන්වා සිටියා.

ඔහු ලියු අපූරු ගීතය අද වෙනකොට නත්තල ගැන කියවන විට හැමෝටම මතක් වෙන, හැමෝම කියන ‘බෙත්ලෙහෙම්පුරේ….’

දශක 5ක පමණ කාලයක් සිංහල ගීත වංශයට, මෙවන් මනරම් දායකත්වයක් දක්වන්නට හැකියාව ලැබුනේ අනිල්ගේ සහජ
හැකියාවෙනමයි.

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීන ඉංග්‍රීසි නිවේදකයෙකු වූ අපෙන් සමුගන් නිහාල් භාරතී , අනිල්ගේගේ වැඩිමහල් සොහොයුරායි.

අනිල්ට සොහොයුරියක්ද වනවා.

අනිල් පවුලේ බාලයා.

‘අනිල් භාරතී පෙදෙසේ’, බොහෝ කල් නීරෝගීව කල් ගෙවමින් සහෘද රසික ජන මන ළයාන්විත හඬින් පිරිමදින්නට, අනිල්
භාරතී නම් වූ ආදරණීය ගායනවේදියාට, හැකියාව ධෛර්යය ශක්තිය මෙන්ම වාසනාව උදාවේවා ..!

TAGS
Share This