ශී‍්‍ර ලංකාව 30 වසරක කි‍්‍රකට් ඉතිහාසය අලුත් කරයි

ශී‍්‍ර ලංකාව 30 වසරක කි‍්‍රකට් ඉතිහාසය අලුත් කරයි

තිස් වසරකට පසු මෙරට ක‍්‍රිකට් වංශ කතාව අලුත් කරන්නට දසුන් ශානක ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ඊයේ රාති‍්‍රයේ හැකියාව ලැබුණා.

ඒ සංචාරක ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමඟ පැවති සිව් වැනි එක්දින තරඟයෙන් ලකුණු 4 ක තියුණු ජයග‍්‍රහණයක් අත් කර ගනිමින්.

මෙම තරඟාවලිය තුළ දී නොකඩවා හත්වන වතාවටත් කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක ආරොන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීම සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

ඔහුගේ තීරණයට සාධාරණයක් ඉටු කළ ඕස්ටේ‍්‍රලියානු ඉදිරිපෙළ පන්දු යවන්නන් ලකුණු පුවරුව 34 ක්ව පවතිද්දී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ඇතුළු කී‍්‍රඩකයන් තුන්දෙනෙකු කී‍්‍රඩාගාරයට යවා නරඹන්නන් බවට පත් කළා.

අනතුරුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා සමඟින් එක්වූ චරිත් අසලංක සිව්වන කඩුල්ල සඳහා පන්දු ඕවර විස්සයි පන්දු දෙකක් තුළදී ලකුණු 101 සම්බන්ධතාවක් ගොඩනැඟුවා.

එය බිඳ වැටුනේ මිච් මාෂ්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා ලකුණු 60 කට දැවී යාමත් සමඟයි.

එය බාධාවක් කර නොගත් චරිත් අසලංක ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව 200 සීමාවෙන් ඉහළට රැගෙන ගියේ සිය එක්දින කි‍්‍රකට් ජීවිතයේ මංගල ශතකය වාර්තා කරමින්.

ඔහු ලකුණු 110 ක් ලබා ගත් අතර ඒ සඳහා වැය කළේ පන්දු 99 ක් පමණයි.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී සියළු දෙනා දැවී ලකුණු 258 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී මිච් මාෂ්, පැට් කමින්ස්, සහ මැතිව් කුහේන්මන් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.

ලකුණු 259ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 254ක් පමණයි.

එය ශ‍්‍රී ලංකා කණ්ඩායමක් තම මව්බිමේ දී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් නොකඩවා තරඟ 3ක දී පරාජය කරනු ලැබු පළමු අවස්ථාවයි.

මීට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායමක් විසින් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් නොකඩවා තරඟ දෙකක දී ශ‍්‍රී ලංකාවේදී පරාජය කරනු ලැබුවේ මින් වසර 30ට පෙර එනම් 1992 වර්ෂයේදීයි.

එම තරඟාවලිය ශ‍්‍රී ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කළේ තරඟ දෙකට එකක් වශයෙන්.

ඊයේ පැවති තරඟයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඔහුගේ 19 වැනි එක්දින ශතකයට එක් ලකුණක් අඩුව තිබිය දී දැවී ගියා.

කෙසේ වෙතත් ලකුණු 259 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී සියඵ දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 254 ක් පමණයි.

අවසන් පන්දු වාරයේදී ජයග‍්‍රහණය සදහා ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ලකුණු 19 ක් අවශ්‍යව තිබුණා.

දසුන් ශානක යැවූ එම පන්දු වාරයේ පළමු පන්දු 5 තුළ ලකුණු 14 ක් ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවේ දී ලකුණු 6 ක් අවශ්‍ය වුණත් ඒ වන විටත් වේගවත් පිතිහරඹයක නිරත වූ මැතිව් කුහේන්මන් දවා ගැනීමට දසුන් ශානක සමත් වීමත් සමඟ තරඟයේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාවට හිමි වුණා.

මෙම ජයග‍්‍රහණයත් සමඟ තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලිය 3 ට 1 ක් ලෙස තවත් තරඟයක් ඉතිරිව තිබිය දී ජයග‍්‍රහණය කිරීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වූ අතර මෙම තරඟයේ වීරයා ලෙස තේරී පත් වුණේ සිය මංගල ශතකය ලබා ගත් චරිත් අසලංකයි.

Share This