ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය අද සිට

ශ්‍රී ලංකා – කොදෙව් ටෙස්ට් තරගාවලිය අද සිට

තරග 02 කින් සමන්විත ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අද පෙරවරු 10 ට ආරම්භ වනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ එම තරග 02 ම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.

තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මකයි.

කොදෙව්වන් ටෙස්ට් තරගාවලියක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ වසර 6 කට පසුව වන අතර මෙතෙක් දෙරට අතර ටෙස්ට් තරග 22 ක් පවත්වා තිබෙනවා.

ඉන් තරග 9 ක ජය ශ්‍රී ලංකාව සතු වුණා.

කොදෙව් කණ්ඩායම තරග 4 ක් පමණක් ජය ගෙන තිබෙනවා.

අනෙකුත් තරග අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

ජාත්‍යන්තර ටෙස්ට් ශ්‍රේණි ගතකිරීම් අනුව මේ වන විට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම 7 වන ස්ථානයේ රැඳී සිටිනවා.

දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා ධනංජය ද සිල්වා අද ආරම්භ වන තරගයේ පිතිකරුවන් අතරට අයත්.

ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා රමේෂ් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන් ලෙසත් සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක් වන බවයි නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ.

ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරගාවලිය ද මෙයයි.

මේ අතර ටෙස්ට් තරග 200 ක තීරක ලෙස කටයුතු කරන ලද පළමු තරග තීරකවරයා වීමේ අවස්ථාව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතාට අද උදාවනවා.

ඔහු ලොව තරග තීරකවරුන් අතර ජ්‍යෙෂ්ඨතමයා ලෙසයි සැලකෙන්නේ.

ටෙස්ට් තරග 100 සහ 150 ක සීමාව පසුකළ පළමු තරග තීරකයා ලෙසින්ද රංජන් මඩුගල්ලේ මහතා වාර්තා පොත් අතරට එක්ව සිටිනවා.

Share This