විදුලි බිල සම්බන්ධයෙන් ආගමික සිද්ධස්ථාන වලට සහන ලබාදිය හැකි අයුරු සොයා බලන්නැයි ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

විදුලි බිල සම්බන්ධයෙන් ආගමික සිද්ධස්ථාන වලට සහන ලබාදිය හැකි අයුරු සොයා බලන්නැයි ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

විදුලි කප්පාදුව දීර්ඝ කිරීමේ අරමුණින් මහා පරිමාණ ගල් අඟුරු කුමන්ත‍්‍රණයක් සිදුවන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද අනාවරණයක් සිදුකළා.

ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ පිළිබඳ සොයා බැලීම සඳහා සහ පවතින බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විහාරස්ථාන ඇතුළු සියළු ආගමික සිද්ධස්ථානවල විදුලි බිල ඉහළ යාම පිළිබඳ සොයා බලා ලබාදිය හැකි සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබාදුන් බවයි.

එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ භික්ෂූන් වහන්සේ විසින් විහාරස්ථාන වලට ලැබුණු ඉහළ ගිය විදුලි බිල් නොගෙවන බවට ප‍්‍රකාශ කරන අතර එසේ වුවහොත් ගන්නා ක්‍රියාමාර්ග කුමක් ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ රටට ජනතාවට සහ දේශපාලනඥයින්ට උපදෙස් ලබාදෙන මහා සංඝරත්නය සාමාන්‍ය ජනතාව සේ හැසිරෙනු ඇතැයි තමා බලාපොරොත්තු නොවන බවයි.

මේ අතර විදුලි ජනනය සඳහා කඩිනමින් ගල්අඟුරු ආනයනය නොකළහොත් විදුලි කප්පාදුව පැය 10 ක හෝ 12 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප‍්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ රට තුළ දැනට පවතින ගල්අඟුරු මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසක සංචිතය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා දක්වා පමණක් ප‍්‍රමාණවත් බවයි.

එසේම නොරොච්චෝලේ විදුලි ජනන යන්ත‍්‍ර දෙක ක‍්‍රියාත්මක කිරීමට දිනකට ගල්අඟුරු මෙට්‍රික් ටොන් 5000 ක් පමණ අවශ්‍ය බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Share This