
විදුලි කප්පාදුවට එරෙහි පෙත්සම සලකා බැලීමට දින නියම වෙයි.
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය විසින් ගොනුකළ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 14 වැනි දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
ඒ එම පෙත්සම අද සලකා බැලීම සඳහා ප‍්‍රියන්ත ජයවර්ධන, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදියි.
එම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කර සිටින විභාග කොමසාරිස්වරයාට යළි නොතීසි නිකුත් කරන ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කර තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් පෙත්සම ගොනුකර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති වරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.