
වතු ජනතාවට ස්ථිර ලිපිනයන් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්
මෙරට වතු ජනතාව සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
ඒ මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් මහතා විසින්.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර ඇති බව සඳහන්.
පෙත්සම්කරු කියා සිටින්නේ මෙරට වතු ජනයාගෙන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බවයි.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277 ක ලක්ෂ 4 ක පමණ පිරිසක් වාසය කරන බවත් ඒ කිසිවෙකුට හෝ පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති බව ද පෙත්සම්කරු පෙන්වා දෙනවා.
මේ හේතුවෙන් ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබාගැනීම, පාසල්වලට ළමුන් ඇතුළු කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබාගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේ දී එම ජනතාවට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදුවන බව සදහන්.