ලෝකයේ මිනිසුන් වඩාත් ම සතුටින් සිටින රටවල්.

ලෝකයේ මිනිසුන් වඩාත් ම සතුටින් සිටින රටවල්.

මුළුමහත් ලෝකය පුරා ම ප්‍රකට සහ අප්‍රකට සියලු සමාජවල ජීවත් වන්නේ මිනිසුන්.

ඔවුන් සියලුම දෙනාගේ ප්‍රමුඛ මූලික මිනිස් අයිතිවාසිකමක් වන්නේ සතුටින් ජීවත් වීමයි.

සියලු මානවයන්ගේ සිතුම් පැතුම් සියල්ල ඒකරාශි වී තිබෙන්නේ ද ඔවුනොවුන්ගේ සමාජ, සංස්කෘතික, භෞතික පරිසරය තුළ බියෙන් සැකෙන් තොර ව සතුටින් සැනසීමෙන් ගතකරන්න.

ඒ සඳහා ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, සහ සෞඛ්‍යය ආරක්ෂණය සහ සුබසාධනය මූලික වෙනවා.


ඊටත් අමතරව ගමනාගමනය, සන්නිවේදනය, විනෝදාස්වාදය, ක්‍රීඩාව, අධ්‍යාපනය, රැකියා අවස්ථාව, ප්‍රමාණවත් ආදායම් මෙන් ම ස්වභාවික විපත් සහ පුද්ගල අපරාධවලින් ජනසමාජයේ ආරක්ෂාව තහවුරුවෙලා තියෙන්නත් ඕන.

ඉහත වුවමනා සපුරා ගෙන වඩාත් ම සතුට සහ නිදහස භුක්ති විඳින මිනිසුන් සහ රටවල් පිළිබඳ ව 2002 වසරේ සිට ලෝක සතුට වාර්තාව ලොව සතුටින් ම සිටින රටවල් නිර්ණය කිරීම සඳහා සංඛ්‍යානමය විශ්ලේෂණයක් භාවිතා කරනවා.

ලෝකයේ ප්‍රීතිමත් ම රට කුමක්දැයි නිර්ණය කිරීම සඳහා, පර්යේෂකයන් පසුගිය වසර තුන තුළ රටවල් 149 කින් විස්තීර්ණ දත්ත විශ්ලේෂණය කළ අතර, විශේෂිත කාණ්ඩ හයක් තුළ එම රටවල කාර්ය සාධනය විශේෂයෙන් නිරීක්ෂණය කළා.


ඒ සාධක අතර

1.ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය.
2.සමාජ සහයෝගය.
3.සෞඛ්‍ය සම්පන්න ආයු අපේක්ෂාව.
4.ස්ව කැමැත්ත අනුව තමන්ගේ ජීවිතය තෝරාගැනීමේ නිදහස.
5.සාමාන්‍ය ජනතාවගේ ත්‍යාගශීලීත්වය.
6.අභ්‍යන්තර හා බාහිර දූෂණ මට්ටම් පිළිබඳ අවබෝධය

සෑම රටක ම දත්ත නිසි ලෙස සංසන්දනය කිරීම සඳහා, පර්යේෂකයන් ලෝකයේ අඩුම සන්තෝෂයෙන් සිටින මිනිසුන් ගෙන් පිරුණු මනඃකල්පිත රටක් උපකල්පණය කොට එය ඩිස්ටෝපියාව ලෙස නම් කරා.

ඉන්පසු ඔවුන් එක් එක් කාණ්ඩ හයේ පහළ ම අගය ලෙස ඩිස්ටෝපියාව සැකසූ අතර මෙම අගයට එරෙහි ව සැබෑ ලෝකයේ රටවල් ගන්නා ලකුණු ප්‍රමාණය විශ්ලේෂණය කළා.

විචල්‍ය සාධක හය ම මිශ්‍ර කර එක් එක් රට සඳහා තනි ඒකාබද්ධ ලකුණු නිර්මාණය කෙරුණා.

සිත්ගන්නා කරුණ නම්, 2021 සඳහා ලෝකයේ ප්‍රීතිමත් ම රටවල් හත අතරට එන රටවල් සියල්ල ම උතුරු යුරෝපීය රටවල් වීමයි.

එහි 2021 යාවත්කාලීන වාර්තාව නිගමනය කළේ ලෝකයේ ප්‍රීතිමත් ම රට ෆින්ලන්තය බව යි.

ෆින්ලන්තය, පිට පිට ම සිව්වන වසර සඳහාත් සමස්ත ලකුණු 7.842 සමඟින් ඉහළම ගෞරවය ලබා එහි පළමු ස්ථානයට පත්වුණා.


පිළිවෙළින් ඩෙන්මාර්කය (7.620), ස්විට්සර්ලන්තය (7.571), අයිස්ලන්තය (7.554), නෙදර්ලන්තය (7.464), නෝර්වේ (7.392) ), සහ ස්වීඩනය (7.363) ලකුණු ලබා ගනිමින් ඉදිරි පෙළට පත්විය.

නොකඩවා සිව් වතාවක් ලෝකයේ වඩාත් ම සතුටින් සිටින ජනතාවගේ දේශය ලෙස ගෞරවයට පත්වූ ෆින්ලන්තය කෙරෙහි මූලික අවධානය යොමු කිරීම ඉතා වැදගත්.

2021 වාර්තාව මත පදනම්ව ලොව සතුටින් ම සිටින රට ලෙස ෆින්ලන්තය ශේණිගත කර ඇත්තේ, මුළු ලකුණු 10 න් 7.842 ක ලකුණු ලබා ගැනීමට එරට සමත්වීම නිසා.

ෆින්ලන්තයේ ප්‍රබල වාර්ගික සහය සහ අන්‍යෝන්‍ය විශ්වාසය පුරවැසියන්ට උපරිම ගෞරවය ලබා දී තිබෙනවා.

ෆින්ලන්ත වැසියන්ට ඔවුන්ගේම කැමැත්ත මත තේරීම් කිරීමට නිදහස ඇති බව දැඩි ලෙස හැඟී ගිය අතර, රජයේ දූෂණ පිළිබඳ අවම සැකයක් පෙන්නුම් කර තිබෙනවා.

ශේණිගත නොවූවත් භූතානය ගෞරවනීය ස්ථානයක පවතිනවා.

තාක්ෂණික කරුණක් හේතුවෙන් භූතානය 2021 වාර්තාව සඳහා තවමත් විශ්ලේශණයට භාජනය කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, වාර්තාවේ කතුවරු භූතානයට උපහාර දැක්වීමට විශේෂ උත්සාහයක් ගත් අතර, එය ”යළිත් වරක් සෞඛ්‍යය සහ සතුට ඒකාබද්ධ කරන ආකාරය පිළිබඳව ලෝකයට ආශ්වාදජනක ආදර්ශයක් සැපයූ බව‘ කියා තිබෙනවා.

ආසියානු කලාපයට අයත් අසල්වාසී රාජ්‍යයක් වන භූතානයේ ජනතාව ඉතාමත් තෘප්තිමත් සැහැල්ලු සැනසීම පිරි ජීවිතයක් ගතකරන බවයි ලොව පිළිගත් මතය.

රටවල් 149 ශේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 126 වන අවස්ථාවේ පසුවෙනවා.

Share This