මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට – ” අඩක් අතුරුදන්” – විපක්ෂය කියයි

මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට – ” අඩක් අතුරුදන්” – විපක්ෂය කියයි

මහ බැංකුවේ රන් සංචිතයේ වටිනාකම පසුගිය දෙසැම්බර් මාසය තුළ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබෙනවා.

පසුගිය නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසයි සටහන් වූයේ.

ඒ අනුව 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී එය ඩොලර් මිලියන 175.4 ක් දක්වා පහත වැටි තිබෙනවා.

මේ අතර මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 1.588 සිට ඩොලර් බිලියන 3.137 ක් දක්වා පසුගිය දෙසැම්බර් මාසය තුළ දී වැඩි වී ඇති බවද සඳහන්.

එහිදී විදෙස් මුදල් සංචිතය වර්ධනය වී ඇත්තේ ඩොලර් බිලියන 1.014 සිට ඩොලර් බිලියන 2.770 ක් දක්වායි.

කෙසේ වෙතත් මහ බැංකුව සතුව තිබූ රන් සංචිත වලින් අඩකට වැඩි ප්‍රමාණයක් මේවනවිට විකුණා දමා ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ට්විටර් පණිව්විඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකුව සතුව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 382ක් වටිනා රන් සංචිත වලින් දැන් ඉතිරිව ඇත්තේ 175.4ක් වටිනා රන් සංචිතයක් පමණක් බවයි.

මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ණය වාරික ගෙවීම සිදු කරන්නේ කෙසේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ චීනයෙන් ලැබුනු යුවාන් මිලියන දහයක මුදල භාවිතයෙන් අදාළ ණය වාරික ගෙවීම ට ඇති හැකියාව සැක සහිත බවයි.

TAGS
Share This