බංගලාදේශයත් අවසන් 12ට සුදුසුකම් ලබයි

බංගලාදේශයත් අවසන් 12ට සුදුසුකම් ලබයි

පන්දුවාර 20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවැත්වෙන තරග යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන අවසාන තරඟය අද පැවැත්වෙනවා

ඒ, නෙදර්ලන්ත කණ්ඩායම සමඟයි

කෙසේ වෙතත් නෙදර්ලන්ත කණ්ඩායම මේ වන විටත් ඔවුන් මුහුණදුන් තරඟ සියල්ලෙන්ම පරාජයට පත්වී ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජයග්‍රහණය කර ඒ කාණ්ඩයේ ඉදිරියෙන්ම පසු වනවා

ඒ අනුව අද තරඟයේ තීරණය කුමක් වුවද ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් තරඟාවලියේ අවසාන කණ්ඩායම් 12 අතරට පැමිණ අවසන්

කෙසේ වෙතත් මෙම සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේදී නෙදර්ලන්ත කණ්ඩායම දක්වා ඇති පසුබෑම හේතුවෙන් අද තරඟයද ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් නොවනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ

මේ අතර සුදුසුකම් ලබාගැනීමේ තරඟ වටයේ තවත් තරඟ දෙකක් ඊයේ රාත්‍රියේ නිමාවට පත්වුණා

මින් පළමු තරඟය පැවැත්වුණේ ඕමාන කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරයි

එහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 122ක් ලබා ගත්තා

ඊට පිළිතුරු ලෙස පන්දුවාර 17ක් අවසානයේදී කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 123ක් ලබාගත් ස්කොට්ලන්ත කණ්ඩායම මෙම තරඟය කඩුලු 8කින් ජය ගැනීමට සමත් වුණා

දෙවන තරඟය පැවැත්වුණේ බංගලාදේශ කණ්ඩායම සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම අතරයි

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස්කළ අතර ඊට නායක මහමුදුල්ලා ලබාගත් අර්ධ ශතකයද ඇතුළත්

කෙසේ වෙතත් පිළිතුරු ඉණිම ක්‍රිඩා කළ පැපුවා නිව් ගිනියා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 3ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශකිබ් අල් හසන් ලකුණු 9කට කඩුලු 4ක් බිඳ හෙලුවා

මෙම ජයග්‍රහණයත් සමඟ බංගලාදේශ කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 තරඟාවලියේ අවසාන කණ්ඩායම 12 අතරට පැමිණීමට සමත් වුණා

Share This