පුරසාරම් දෙඩූ ලන්දේසීන්ට ශ්‍රී ලංකාවෙන් අමතක නොවන පාඩමක්

පුරසාරම් දෙඩූ ලන්දේසීන්ට ශ්‍රී ලංකාවෙන් අමතක නොවන පාඩමක්

ලෝක කුසලාන පන්දුවාර 20 තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේදී ශ්‍රී ලංකාවේ දස්කම් පිළිබඳව අඩු තක්සේරුවකින් විවේචනය කළ අතීත ලන්දේසි හෙවත් වර්තමාන නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමට වාර්ථාගත පරාජයක් අත්කර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා

ඒ, නෙදර්ලන්තය සමඟ පැවති තරඟය කඩුලු‍ 8කින් ජයග්‍රහණය කිරීමත් සමගයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්තයට පන්දුවාර 10ක් අවසානයේ සියලු‍දෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 44ක් පමණයි.

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමටත් ප්‍රථම ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳ අදහස් දැක්වූ නෙදර්ලන්ත නායක පීටර් සීලස් ප්‍රකාශ කළේ මෙම තරඟ වටයේදී දක්ෂතා අඩු කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව පරාජය කිරීම පහසු කටයුත්තක් බවයි

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශයට පිත්තෙන් හා පන්දුවෙන් පිළිතුරු ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෝක කුසලාන 20යි 20 තරඟාවලියක් තුළ ක්‍රිකට් කණ්ඩායමක් දැවීගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින් නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 44කට සීමා කලා

මීට පෙර 2014 වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේදී කණ්ඩායමක් රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 39කට නෙදර්ලන්ත ක්‍රීඩකයින් සියලු දෙනා දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කළේ ලෝක වාර්තාවක් තබමින්

ඒ අනුව ඊයේ පැවති තරඟයේදීද කිසිදු නෙදර්ලන්ත පිතිකරුවෙකුට පිටියේ ස්ථාවර වන්නට ඉඩ නොතැබූ ශ්‍රී ලංකා දඟ පන්දු සහ වේග පන්දු බලඇණිය ඔවුන්ගේ ඉදිරි පෙළ කඩුළු පහක්ම මුළු ලකුණු සංඛ්‍යාව 32ක් වන විට බිඳ හෙළනු ලැබුවා.

පන්දු යැවීමේදී ළහිරු කුමාර ළකුණූ 7කට කඩුළු තුනක් දවා ගත් අතර, වනිදු හසරංග ළකුණු 9කට කඩුළු තුනක් ලබාගත්තා.

සුපිරි කණ්ඩායම් 12 වටයට අපරාජිතව පිවිසීමේ අරමුණ ඇතිව ලකුණු 45ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7යි එක් පන්දුවක් අවසානයේ සිය ජයග්‍රහණයේ සීමාවට ළගාවන විට කඩුලු‍ දෙකක් බිඳ වැටී තිබුණා.

ජයග්‍රහණයේ මග පෑදූ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා.

මේ අතර, ඊයේ තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව යොවුන් දඟපන්දු යවන්නා වන මහීෂ් තීක්ශන ආබාධයකට ලක් වුණා.

මේ හේතුවෙන් ඊයේ පැවති තරගයේ එක් පන්දු ඕවරයක් නිමා කිරීමෙන් අනතුරුව ඔහු නැවත ක්‍රීඩාගාරයට කැඳවනු ලැබූ අතර තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ භානුක රාජපක්ෂ කියා සිටියේ ඔහුට මතුවී ඇති ආබාධය අනුව බොහෝ දුරට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරගය අහිමි වීමට ඉඩ ඇති බවයි.

මහීෂ් තීක්ශන ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා පැවැති තරග 3 දී කඩුලු‍ 8ක් බිඳ දැමීමට සමත්ව තිබෙනවා.

Share This