පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

එම කොමිසම සඳහන් කළේ මේ මස 22 වනදා ආරම්භ වන තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මේ වනවිට මුද්‍රණය කරමින් පවතින බවයි.

එසේම තැපල් ඡන්ද හිමියන් සඳහා විශේෂ උපදෙස් පත‍්‍රිකාවක්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ පලාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද තම සේවා ස්ථානවලදී එළඹෙන 22, 23 සහ 24 යන දිනවල සලකුණු කිරීමට හැකියාව පවතින බවයි.

යම් හෙයකින් එම දින තුන තුළ තමන්ගේ ඡන්දය සලකුණු කිරීමට නොහැකිවුවහොත් තම ආයතනය පිහිටි දිස්ත‍්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බව ද මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා කියා සිටියා.

ශ‍්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ලබන 19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා නිවෙස්වලට බෙදීම ආරම්භ කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත‍්‍ර සංඛ්‍යාවෙන් 36,000 ක් විවිධ දෝෂ හේතුවෙන් ප‍්‍රතික්ෂේප වී ඇති බව බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මහ භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට රුපියල් කෝටි දහයක මුදලක් ලබා දී තිබෙනවා.

Share This