
දුමින්ද සිල්වාට සමාව දීම ගැන විමසීමට හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කැඳවීමක්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 16 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින ලෙස අද නියෝග කළා.
ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධව කරුණු දැක්වීම සඳහායි.
අදාළ පෙත්සම් මුර්දු ප‍්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී තිබෙනවා.
දුමින්ද සිල්වා මහතාට ප‍්‍රදානය කර ඇති ජනාධිපති සමාව බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඔහුගේ බිරිඳ වූ සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් මහතා විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.
එමගින් දක්වා ඇත්තේ දුමින්ද සිල්වා මහතාට කොළඹ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් තහවුරු කළ බවයි.
එහෙත් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ප‍්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එසේ ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිමය ප‍්‍රතිපාදන නිසි පරිදි අනුගමනය කර නොමැති බවද සඳහන් කළා.