තීරණාත්මක තරගය අද –  කුසල් ට අවස්ථාවක් ?

තීරණාත්මක තරගය අද – කුසල් ට අවස්ථාවක් ?

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර අද පැවැත්වීමට නියමිත දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා කුසල් ජනිත් පෙරේරාට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු ඊයේ පස්වරුවේ මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමත් සමගයි.

ජූලි මස මුල නිමා වූ එංගලන්ත තරග සංචාරයෙන් අනතුරුව කුසල් ජනිත් මෙතෙක් කිසිදු ජාත්‍යන්තර හෝ දේශිය තරගයක් ක්‍රීඩා කර නැහැ.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් සහ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.

ඔහුට අද තරගය ක්‍රීඩා කිරීමට හැකි වීමත් සමග බොහෝ දුරට භානුක රාජපක්ෂට කණ්ඩායමේ ස්ථානය අහිමි විය හැකියි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ දෙවන තරගය රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු 20-20 තරගයේදී ලකුණු 28ක පරාජයක් ලැබීමට ප්‍රධාන සාධකයක් ලෙස පවර් ප්ලේ අවස්ථාවේ ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොලැබීම බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කළා.

මේ දිනවල පවතින 20-20 තරග සහ 20-20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සහ ලෝක කුසලාන තරගාවලිය විශාල අභියෝගයක් බව තමා පිළිගන්නා බවයි දසුන් ශානක කියා සිටියේ.

ප්‍රථම 20-20 තරගයේදී සිදුවූ අඩුපාඩු සකස් කරගෙන මීළඟ තරග දෙකට සැළසුම් සහගතව සාර්ථකව මුහුණ දීමට අපේක්ෂා කරන බව කී ශ්‍රී ලංකා නායකයා මේ තරගාවලිය නිමවු විගස එක්සත් අරාබි එමීර් රාජ්‍ය තණතිලිවලට හා දේශගුණයට හුරුව ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළා.

TAGS
Share This