ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ගීත රචක ආනන්ද පද්මසිරි දිවි සැරියට සමු දෙයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ගීත රචක ආනන්ද පද්මසිරි දිවි සැරියට සමු දෙයි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ ගීත රචක ආනන්ද පද්මසිරි මහතා අද (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 63 වන වියෙහි පසු වුණා.

ඔහු දශක ගණනාවක් පුරා කලා ක්ෂේත්‍රයට මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් කර ඇති අයෙක් වනවා.

ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ යුගයෙන් යුගයට චිත‍්‍රපටයට එච්. ආර්. ජෝතිපාලයන් සහ කලාශූරි ලතා වල්පොල ශිල්පිනිය ගායනා කළ අපේ ආදරයේ රස ගීතිකා රචනා කරමින් ඔහු මෙරට කලා ක්ෂේත‍්‍රයට පිවිසියා.

පසුව ක්ලැරන්ස් විජේවර්ධන, එම්.එස්. ප‍්‍රනාන්දු, මිල්ටන් මල්ලවාරච්චි, ජේ.ඒ. මිල්ටන් පෙරේරා ආදී මෙරට ගායන ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහ නවකයන් රැසකට පද්මසිරි මහතා ගී රචනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

සමිතා මුදුන්කොටුව ගයන සීත රෑක මධු සමේ, මිල්ටන් මල්ලවාරච්චි ගයන සීතල හිම රටේ, රූකාන්ත චන්ද්‍රලේඛා ගයන නිල් තරු නෙතු හිනැහේ, නිරෝෂා විරාජිනී ගයන හද හඬනා මේ දුක් රාවේ, විජය කුමාරතුංග ගයන දේවදාර ගස් අතරින්, ජිප්සීස් සංගීත කණ්ඩායම ගායනා කළ සිත සැනසුම දෙන්න සදා යන ගීත ඔහු විසින් රචිත ගීත අතරින් සුවිශේෂයි.

ඔහු විසින් රචිත තවත් ගීත වන්නේ දම්මි සුගත් තනිකලාට, කොණ්ඩෙ බැඳලා අපේ පුතා, සාමේ ඉරේ රැස් දහරාවේ, මේරියන්ස් සංගීත කණ්ඩායම ගයන වතුර හිතවතා, රන් සමනල ජෝඩුව වාගේ, එච්. ආර්. ජෝතිපාලයන් ගයන පාලු හැන්දෑවේ, මිල්ටන් පෙරේරා ගයන බිතුසිතුවම් රූ වාගේ, ක්ලැරන්ස් විජේවර්ධනයන් ගයන කොවුලා කොහේදෝ ඉගිලී ගියාදෝ, සුජාතා අත්තනායක ගයන සඳේ සුසුමට වැනි ගීත ද අයත් වනවා.

ආනන්ද පද්මසිරි සහ හේමසිරි හල්පිටයන් එක්ව ලියූ මෙරට සංගීත ක්ෂේත්‍රයේ කලාකරුවන් 40කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් එළිදැක්වුණු “ලෝවේ සැමා එකම දැයේ දූ දුරුවන් වේවා” ගීතය එදා මෙදාතුර මෙරට කලා ක්ෂේත්‍රයේ විශේෂ සන්ධිස්ථානයක්.

1980 දශකයේදී වෘත්තීය පුවත්පත් කලාවට අවතීරණ වන ආනන්ද පද්මසිරි මහතා, කුමරි, රැජින ආදී පුවත් පත් රැසක මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ අතර අවසන් වකවානුවේ සරසි පුවත් පතේ විශේෂාංග කතෘ ලෙස ද, සත්සර පුවත්පතෙහි සහකාර කතෘ ලෙස ද අනතුරුව නිදහස් මාධ්‍යවේදියකු ලෙස ද සේවය කළා.

පද්මසිරි මහතාගේ දේහය මේ වන විට වේයන්ගොඩ, කීනවලවත්ත පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අනිද්දා මීරිගම ආදාහනාගාරයේ දී සිදු කිරීමට නියමිතයි.

Share This