ජනපති සහ සර්ව පාක්ෂික අරගලකරුවන් අතර සාකච්ඡාවක්

ජනපති සහ සර්ව පාක්ෂික අරගලකරුවන් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ අරගලයේ පාර්ශව කිහිපයක් අතර අද සාකච්ඡාවක් පැවැත්වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සර්වපාක්ෂික අරගලකරුවෝ සඳහන් කලේ ජනාධිපතිවරයා සිය රාජාසන කථාවේ දී ඉදිරිපත් කළ වැඩපිළිවෙලෙහි බොහෝ යෝජනා අතර තම සංවිධානය ඉදිරිපත් කළ යෝජනා ද අන්තර්ගතව තිබීම හේතුවෙන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වීමට තීරණය කළ බවයි.

එහිදී සාමකාමී අරගලකරුවන් අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම සහ පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔවුන් කියා සිටියේ.

මේ අතර ගාලු මුවදොර අරගලකරුවන්ට ඉවත්වීම සඳහා පොලිසිය ලබා දුන් කාලය අද පස්වරු 5 න් අවසන් වනවා.

පෙරේදා දිනයේ කොටුව පොලිසිය විසින් අරගලකරුවන්ට දැනුම් දුන්නේ අද පස්වරු 5 ට පෙර නාගරික සංවර්ධන අධිකාරියට සහ රජයට අයත් භූමි ප‍්‍රදේශවල අනවසරයෙන් ඉදිකර ඇති කූඩාරම් ද ඉවත්කර වහා එම ස්ථානයෙන් පිටව යන ලෙසයි.

කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගොල්ෆේස් අරගලකරුවන් සඳහන් කලේ අරගල භූමියෙන් ඉවත් වීමට කිසිඳු අදහසක් නොමැති බවයි.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජවාදී ශිෂ්‍ය සංගමයේ හිටපු සාමාජික එරංග ගුණසේකර මහතා.

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

මේ අතර ගාලු මුවදොර අරගල භූමියේ සිටින පුද්ගලයින් සහ ඉදිරිකිරීම් ඉවත් කිරීමට පොලිසිය ගෙන ඇති තීරණය කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට රිට් පෙත්සම් 4 ක් ගොනුකර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කොටුව පොලිස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන අධිකාරිය සහ නීතිපතිවරයායි.

Share This