ගස් සිටුවන්න මට බෑ – රිෂාඩ්ගෙන් පෙත්සමක්

ගස් සිටුවන්න මට බෑ – රිෂාඩ්ගෙන් පෙත්සමක්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා

ඒ, අදාළ පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී

විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටි කල්ලාරු හා මරිච්චුකට්ටි වනාන්තර එළිපෙහෙළි කර අනවසර ඉදිකිරීම් සිදුකිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2015 වසරේ එවක අමාත්‍යවරයාව සිටි රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණා

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබුවේ අදාළ වනාන්තර එළිපෙහෙළි කිරීම නීති විරෝධී යැයි තීන්දු කරමින් එම ප්‍රදේශයේ යළි ගස් සිටුවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසයි.

ඒ සඳහා යන සියලු වියදම් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගෙවිය යුතු බවටද අභියාචනාධිකරණ නියෝගයේ සඳහන්.

කෙසේ වෙතත් අදාළ නියෝගය නීතියට පටහැනි බැවින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන අදාළ නියෝග බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

Share This