කින්නියා නගරාධිපති දෙසැම්බර් 9 දක්වා රිමාන්ඩ්

කින්නියා නගරාධිපති දෙසැම්බර් 9 දක්වා රිමාන්ඩ්

ත්‍රිකුණාමලය කින්නියා, කුරිඤ්ඤංකේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපති එස්.එච්.එම් හලීම් මහතා දෙසැම්බර් 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබෙනවා.

ඒ, සැකකරු අද දින ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

6 දෙනෙකුට මරු කැඳවමින් සහ තවත් 20 දෙනෙකුට තුවාල සිදු කරමින් පාලම් පාරු අනතුර සඳහා වක්‍රාකාරව වගකිව යුතු පුද්ගලයෙකු බවට පත් වීම නගරාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනාවයි.

මේ අතර, කුරින්ජන්කේනි පාලම මාස 9ක් ඇතුලත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

අද පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා ප්‍රකාශ කළේ අදාළ අනතුර දැඩි සංවේගයට පත්වූ සිද්ධියක් බවයි.

එමෙන්ම නැගෙනහිර පළාතේ දැනට භාවිතයට ගන්නා සියලු‍ම පාලම් පාරුවල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා.

ඒ පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් අනුවයි.

එම කණ්ඩායමට පොලීසිය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු අංශය සහ නාවික හමුදාව ඇතුළත්.

Share This