ඉහළ යන ජීවන වියදමට එරෙහිව අද ප‍්‍රදේශ කිහිපයක විරෝධතා – මහා පරිමාණ මෝල් හිමියන්ට රජරට ගොවීන්ගෙන් චෝදනා

ඉහළ යන ජීවන වියදමට එරෙහිව අද ප‍්‍රදේශ කිහිපයක විරෝධතා – මහා පරිමාණ මෝල් හිමියන්ට රජරට ගොවීන්ගෙන් චෝදනා

රජයේ වී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණය අකාර්යක්ෂම වීම හේතුවෙන් තම අස්වනු අළෙවි කර ගැනීමේ බරපතල ගැටළුවකට මුහුණ දී ඇතැයි රජරට ගොවීන් පවසනවා.

අනුරාධපුර දිස්ත‍්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් තම සුපුරුදු ක‍්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ පුංචිරාල රත්නායක මහතා පැවසුවේ මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් නිරන්තර ඉල්ලීම් කළ ද ඒ පිළිබඳ මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බවයි.

මේ අතර වී මිල දී ගැනීම සඳහා ගොවි භාර අරමුදලෙන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 500 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, රෝහණ පුෂ්ප කුමාර මහතා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹි බවයි.

ඒ අනුව ගොවි භාර අරමුදලෙන් ලබාගැනීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 200 ක්.

එමෙන්ම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන්ද රුපියල් මිලියන 300 ක් ලබා ගැනීමට නියමිත අතර මෙම මුදල් ලබාගත් විගස යළ කන්නයේ වී මිල දී ගැනීම යළි ආරම්භ කළ හැකි බවයි ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේ.

කෙසේ වෙතත් අඛණ්ඩව වී අස්වනු මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාදීමට පෙරොන්දු වූ රුපියල් මිලියන 2,000 ක ණය මුදල කඩිනමින් ලබාදිය යුතුව ඇති බව ද ඔහු ප‍්‍රකාශ කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කලේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය බැංකු ලබාදීමට එකඟ වූ ණය මුදල කොටස් වශයෙන් කඩිනමින් ලබාගැනීමේ තීරණයකට එළැඹි බවයි.

Share This