
රනිල් මෝදී හමුවෙන් ඉන්දු – ලංකා සබඳතා පුළුල් වෙයි.
අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් සබඳතාවක් වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පැවති සාකච්චාවකින් අනතුරුවයි.
අද පෙරවරුවේ නවදිල්ලි නුවරදී ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදක්වනු ලැබුවා.
දිගුකාලීනව, රටවල් දෙකෙහි මෙන්ම කලාපයේ පුළුල් වර්ධනයක් සහ සමෘද්ධිය අරමුණු කරන මෙම හවුල්කාරිත්ව දැක්මෙහි කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා කැපවන ලෙසයි මෙහිදී දෙරටේ නායකයින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.
සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඊට කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම; ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මෙන්ම රාමේෂ්වරම් – තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීමේ යෝජනාද ඇතුලත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
එසේම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සහ එය කොළඹ දක්වා පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීමටද මෙහිදී එකඟතාව පලවුණා.
මීට අමතරව දෙරට අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු හෙවත් ඛභඨ ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමේ යෝජනාද මෙම ආර්ථික හවුල්කාරිත්ව දැක්මකට ඇතුලත්.
දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජතෙල් නල මාර්ගයක් ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම සහ දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල නම් කිරීමට ගත් තීරණය යටතේ වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ගැනීමටද දෙරටේ නායකයන් එකඟතාව පලකර තිබෙනවා.
මේ අතර ප්‍රතිසන්ධානය සහ බලය බෙදීම සඳහා වූ පුළුල් සැලැස්මක් සහිතව සියලු පක්ෂ නායකයින්ට පොදු එකඟතාවකට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ආරාධනය, මෝදි අගමැතිවරයාගේ ඇගයීමට ලක්වූ බව සඳහන්.
මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයන්හිදී ඉන්දියාව ලබාදුන් නොසැලෙන සහයෝගය වෙනුවෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට , ඉන්දීය රජයට සහ ජනතාවට කෘතඥතාව පළ කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා