අලි සබ්රි අමෙරිකා රාජ්‍ය ලේකම් හමුවෙයි

අලි සබ්රි අමෙරිකා රාජ්‍ය ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අභියෝගාත්මක හා අර්බුදකාරී තත්ත්වය, වෙනසක් ඇති කිරීම සඳහා මහඟු අවස්ථාවක් බව අමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බිලින්කන් සඳහන් කරනවා.

අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මේ බව සඳහන් කලේ අද සහ හෙට දිනයේදී කාම්බෝජයේ නොම්පෙන් නගරයේදී පැවැත්වෙන ආසියානු කලාපීය සංසදයේ දී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා හමු වූ අවස්ථාවේදියි.

වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සියලු පාර්ශ්වයන් ඇතුළත් රජයක් නිර්මාණය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට උදා වී ඇති බව ඔහු මෙහිදී පෙන්වා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සදහා අමෙරිකාව ඉටු කළ මෙහෙය අගය කරන බවයි අලි සබ්රි මහතා මෙහිදී කියා සිටියේ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිසංඛර් හා අලි සබ්රි මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුණා.

විදේශ අමාත්‍ය ධූරයේ කටයුතු සම්බන්ධයෙන් එහි දී ජයිසංඛර් මහතා අලි සබ්රි මහතා වෙත සුබ පැතුම් එක්කළ අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒම සහ ශ්‍රී ලංකාවේ යහපැවැත්ම ඇති කිරීම සදහා විශ්වාසවන්ත මිතුරෙකු හා හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව කැපවන බව මෙහි දී සඳහන් කළා.

මේ අතර යුරෝපා සංගමයේ විදේශ කටයුතු හා ආරක්ෂක ප්‍රතිපත්ති සඳහා නියෝජිතයෙකු ලෙස කටයුතු කරන ජෝසප් බොරෙල් ෆොන්ටෙලෙස් සමඟ ද සාකච්ඡාවක් පැවැත්වුණා.

එහිදී ද්විපාර්ශ්වික සබදතා සහ සහයෝගීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර දේශපාලන, ආර්ථික,සහ මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට යුරෝපා සංගමය අඛණ්ඩව සහාය ලබා දෙන බවයි ඒ මහතා අලි සබ්රි මහතා වෙත ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහාය අගය කළ අලි සබ්රි මහතා GSP ප්ල්ස් ඇතුළු මූල්‍ය ස්ථායිතා ඇති කරන වැඩසටහන් සම්බන්ධයෙන් අඛන්ඩ දායකත්වයක් ලබාදෙනු ඇති බවට විශ්වාසය පළ කළා.

Share This