අලි ඇතුන්ගේ අයිතිය පිළිබඳ නියෝගය ලබා දීම කල් යයි

අලි ඇතුන්ගේ අයිතිය පිළිබඳ නියෝගය ලබා දීම කල් යයි

අලි ඇතුන්ගේ අයිතිය පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 වන දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නිවේදනය කළා.

ඒ අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින අලි ඇතුන් පස් දෙනෙකු සහ ඔවුන්ගේ හිමිකරුවන් නඩු කටයුතුවලින් මුදාහරින ලෙසයි.

නීති විරෝධී ලෙස අලි ඇතුන් තබාගෙන සිටි බවට සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ප්‍රමාණවත් පදනමක් නොමැති බවට නීතිපතිවරයා වාර්තා කර ඇති බවද පොලිසිය අධිකරණයට කල කරුණු දැක්වීමේ සඳහන්.

එම අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් අත්අඩංගුවට ගත් අලි ඇතුන් එහි භාරකරුවන්ට මුදා හැරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නා.

එම සතුන් භාරදිය යුත්තේ රජයට බවයි නීතිඥවරයා කියා සිටියේ.

මෙම සැකකරුවන් හා අලි ඇතුන් මුදාහරින ලෙස ඉල්ලා සිටින්නේ ඇයි දැයි මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළේ, මෙම සැකකරුවන්ට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් පදනමක් නොමැති බව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බැවින් ඉල්ලීම සිදු කරන බවයි.

නඩුවක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති නම් මෙම අලි ඇතුන් සහ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි මහෙස්ත්‍රාත්වරයා යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරණු ලැබුවා.

එහිදී අදාළ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපතිවරයා උපදෙස් ලබාදෙන්නේ නම් සැකකරුවන් හා ඔවුන්ගේ නඩු භාණ්ඩ මුදාහැරීමට අධිකරණයට සිදුවන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව සඳහන් කළ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී. රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන ඉල්ලීම පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව සඳහන් කළා.

Share This