IPL ඇරඹෙයි

17

කණ්ඩායම් 8ක දක්ෂතාව මැන බැලෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

පළමු තරගය අද පැවැත්වෙන්නේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

තරගය රාත්‍රී 8 ට චෙන්නායි හී දී ආරම්භ වනු ඇති.

චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝනි විසින් මෙහෙයවනු ලබන අතර, බැංගලෝර් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ විරාට් කෝලි විසින්.

අද තරගය පැවැත්වෙන චෙන්නායි ක‍්‍රීඩාංගනයේ දී බැංගලෝර් කණ්ඩායම මෙතෙක් ක‍්‍රීඩා කර ඇති තරග හතෙන් තරග 6ක්ම චෙන්නායි කණ්ඩායම හමුවේ පරාජයට පත්ව තිබෙනවා.

එමෙන්ම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වසර පහකින් පරාජයට පත් කිරීමට මෙතෙක් රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමට හැකියාව ලැබී නොමැති වීම ද විශේෂත්වයක්.

මේ අතර, ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අවම වශයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරග 6 අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කර ඇති සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට තීරණය කිරීමත් සමගයි.

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12වන තරගාවලිය මෙයයි.

තරගාවලිය මැයි 12 දක්වා පැවැත්වෙනවා.

IPL හේතුවෙන් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහභාගීවීමට නියමිතව තිබුණ පළමු තරගය ජුනි 2වනදා සිට 5 වනදා දක්වා කල් තබා තිබෙනවා.

IPL තරගාවලියක් අවසන්ව ජාත්‍යන්තර තරගයකට ඉන්දියාවට සහභාගී විය හැක්කේ අනිවාර්යය දින 15කට පසුවයි.

Your Comments