13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල : කාන්තා සහ පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වලට ජය
අනුර ප්‍රේමකුමාර

25

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සහ භූතානය අතර තරගය සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මාලදිවයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස ක්‍රිකට් තරග දෙකක අද පැවැත්වුණා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ පිරිමි ක්‍රිකට් කණ්ඩායම සහ භූතාන කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 173ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් භූතාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දුන්නා. ඒ අනුව පන්දුවට පහරදෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 248ක් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංක පන්දු 48කදී ලකුණු 76ක් ලබාගත්තේ හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් සමගිනි. පන්දු 38කදී හයේ පහරක් සහ හතරේ පහර 10ක් සමගින් ලකුණු 65ක් ලබාගැනීමට නිශාන් මධුෂ්ක සමත් විය. කමිදු මෙන්ඩිස් ලකුණු 27යි. චරිත් අසලංක ලකුණු 25කට දැවිගියා. නොදැවී පන්දුවට පහර දුන් ෂම්මු අශාන් සහ අශේන් බණ්ඩාර ලකුණු 14 බැගින් ලබාගැනීමට සමත් විය.
ලකුණු 249ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි භූතාන කණ්ඩායමට පන්දුවාර 18.4කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 75ක් පමණි. භූතාන කණ්ඩායමේ මික්යෝ ඩෝර්ජි ලකුණු 22ක් ලබාගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 20 සීමාව වෙත ළඟාවීමට නොහැකි විය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සචිඳු කොළඹගේ සහ ජෙහාන් ඩැනියෙල් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය. කමිඳු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර, දුවිඳු තිලකරත්න සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මාලදිවයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 249ක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ කාසිය වාසිය දිනාගත් මාලදිවයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිකර දුන්නා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 279ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. එහිදී නොදැවී පන්දුවට පහර දුන් හර්ෂිතා මාධවි පන්දු 47කදී ලකුණු 106ක් ලබාගත්තේ හයේ පහර තුනක් සහ හතරේ පහර 15ක් සමගිනි. එසේම නොදැවී පන්දුවට පහරදුන් සත්‍යා සන්දීපනී පන්දු 48කදී හයේ පහර තුනක් සහ හතරේ පහර 11ක් සමගින් ලකුණු 96ක්ලබාගැනීමට සමත් විය.
ජනාධි අනාලි ලකුණු 32කටද උමේෂා තිමාශිනි ලකුණු 18කටද දැවී ගියා.
පන්දු යැවීමේදී මාලදිවයින් කාන්තා කණ්ඩායමේ ශම්මා අලි සහ ලට්ෂා හලීමත් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
ලකුණු 280ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මාලදිවයින් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පන්දුවාර 14.5කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 30ක් පමණි. එහිදී එක් ක්‍රීඩිකාවක හෝ ලකුණු 10 සීමාව පසුකර යාමට සමත් නොවීය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජනාධි අනාලි කඩුලු තුනක්ද සත්‍යා සන්දීපනී කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් විය.
තාරිකා සෙව්වන්දි, සචිනි නිසංසලා සහ උමේෂා තිමාශිනි එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
මේ අතර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ තෙවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිව්වන ස්ථානය දක්වා පසුබැස සිටිනවා. ඒ රන් පදක්කම් 7ක් රිදී පදක්කම් 18ක් සහ ලෝකඩ පදක්කම් 32ක් ලබාගනිමිනි. රන් පදක්කම් 8ක් රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 13ක් ලබාගත් පාකිස්ථානු කණ්ඩායම තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටිනවා.
පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ ඉන්දියාව පසුවන්නේ රන් පදක්කම් 23ක් රිදී පදක්කම් 19ක් සහ ලෝකඩ පදක්කම් 12ක් සමගිනි. සුපුරුදු පරිදි පදක්කම් සටහනේ පළමු ස්ථානය රැකගැනීමට නේපාල කණ්ඩායම තවදුරටත් සමත්ව සිටින්නේ රන් පදක්කම් 27ක් රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 19ක් ලබාගනිමිනි.

Your Comments