සුපිරි පන්දුවාරයෙන් පසු එංගලන්තයට ලෝක ක්‍රිකට් ශූරතාවය

10

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගනයේ පැවැති අවසන් මහා තරගයෙන් නවසීලන්ත කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයෙන් ද පසු ජය වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 241ක් ලබා ගත්තා.

හෙන්රි නිකල්ස් ලකුණු 55ක් සහ ටොම් ලෙදම් ලකුණු 47ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් සහ ලියම් ප්ලන්කට් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට පන්දුවාර 50 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ද ලකුණු 241ක් පමණයි.
බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 84ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලුකී ෆර්ගියුසන් සහ ජේම්ස් නීෂම් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ලකුණු සම වීම හේතුවෙන් අනතුරුව සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කිරීමට සිදු වූ අතර, එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 15ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ද සිය පන්දුවාරයේ දී ලබා ගත්තේ ලකුණු 15ක් පමණයි.

ඒ අනුව මෙම තරගයේ දී වැඩිම හතරේ සහ හයේ පහර සංඛ්‍යාවක් ලබා ගත් කණ්ඩායම එංගලන්ත කණ්ඩායම වූ බැවින් ඔවුන්ට මෙවර ලෝක ශූරතාවය හිමි වුණා.

මෙම තරගය ඉතිහාස ගත වූයේ එක්දින තරග ඉතිහාසයේ සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කළ පළමු අවස්ථාව ලෙසයි.

එමෙන්ම මෙය එංගලන්ත කණ්ඩායමක් ලෝක කුසලානය ජය ගත් ඉතිහාසයේ පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

අවසන් තරගයේ වීරයා ලෙස බෙන් ස්ටොක්ස් සම්මාන දිනා ගත් අතර, තරගාවලියේ වීරයා නවසීලන්ත නායක කේන් විලියම්සන්.

Your Comments