ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ගුවන් යානයක් කුලියට ගනී

8

සති දෙකකින් පසු දකුණු අප්‍රිකාව බලා යෑමට ගුවන් යානයක් කුලියට ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා.

ඒ  ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 22ක් වෙනුවෙන්.

මෙම කුලියට ගත් ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොලේ සිට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් බලා යාමට නියමිතයි .

පවතින වසංගත තත්වයෙන් ක්‍රීඩකයන් ආරක්ෂා කර ගැනීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බව සදහන් වෙනවා.

එලෙසම දකුණු අප්‍රිකාණු සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එංගලන්ත ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ යුතු බැවින් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව රැකෙන පරිදි සංචාර ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා  ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලී ද සිල්වා මහතා කියා සිටියා .

දකුණු අප්‍රිකානු  සංචාරය නිමාකොට යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී ද  කුලියට ගත් ගුවන් යානයක් උපයෝගී කර ගනිමින් ක්‍රීඩකයන් ව මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇති බව එතුමන් පවසනවා.

ශ්‍රී  ලංකාව හා දකුණු අප්‍රිකාව අතර, පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් (26)  පැවැත්වෙන අතර, දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 3 සිට 7 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය නිමවීමෙන් පසුව මෙරටට පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්  හට දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමට සිදු වුවහොත් එංගලන්ත සංචාරයට බාධාවක් බව පැවසේ.

ඒ හේතුවෙන් මේ තීරණය ගෙන ඇති බවත්, ඒ පිළිබඳ කොරෝනා මර්දන ජාතික සෞඛ්‍ය බළකාය වෙත දැනුම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බවත් ඒ මහතා පැවසීය.

එංගලන්ත පිල සමඟ පළමු ටෙස්ට් තරගය ජනවාරි 14 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර, දෙවැනි ටෙස්ට් තරගය 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වේ. ආරක්ෂිත පියවරක් ලෙස එම තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි .

මේ සංචාර දෙකේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දින 45ක පමණ කාලයක් නිවෙස්වලට නොගොස් ටෙස්ට් තරගාවලි දෙකට සහභාගි වීමට සිදුවනු ඇත.

Your Comments