ශ්‍රී ලංකාව සිව්වෙනි තරඟයත් පරදියි

9

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා සිව්වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
පෝර්ට් එලිසබෙත්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 39 යි පන්දු 2කදී ලබා ගත හැකි වූයේ ලකුණු 189ක් පමණයි.
ඉසුරු උදාන ලකුණු 78ක් රැස් කළේ පන්දු 57කට මුහුණ දෙමින්.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.
එය ඔහුගේ මංගල එක්දින අර්ධ ශතකය ද වනවා.
ඔහු සහ කසුන් රාජිත අතර අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සබදතාවය ලකුණු 58ක්.
කසුන් රාජිත සිය කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩා කළ අතර, ඔහු කිසිදු ලකුණක් ලබා ගත්තේ නැහැ.
අද තරගයේ දී ප්‍රියමාල් පෙරේරා එක්දින වරම් හිමි කර ගත් නමුත්, ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියා.
උපුල් තරංග ද මෙම තරගය සදහා යළි කණ්ඩායමට කැදවීමට පියවර ගෙන තිබුණේ නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි.
කෙසේ වෙතත් උපුල් තරංග ලකුණු 4කට දැවි ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 103ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.
ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 51ක් රැස් කළා.
පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 3ක් බිද හෙලුවා.

Your Comments