මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් ආකාශ් අම්බානි ලසිත් මාලිංගව තව දුරටත් අපේක්ෂා කරයි

17

ලසිත් මාලිංග තවත් වසර 5ක පමණ කාලයක් සිය කණ්ඩායමේ වේග පන්දු බලඇණිය ශක්තිමත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබීම තම අපේක්ෂාව බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු ආකාශ් අම්බානි පවසනවා.

ඒ, මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
වසර 12ක කාලයක් ලසිත් මාලිංග සිය කණ්ඩායමේ ප්‍රධානම භූමිකාවක කටයුතු කළ බවයි අම්බානි පෙන්වා දෙන්නේ.
ලසිත් මාලිංගගේ අත්දැකීම් සිය කණ්ඩායමට අනාගතයේ දී ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවට ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු ආකාශ් අම්බානි විශ්වාසය පල කරනවා.

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බව මෙම මස මුලදී දැනුවත් කළ බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව මෙවර අයි.පී.එල් තරග සදහා ඔහු ක්‍රීඩා නොකරනු ඇති.
මුම්බායි කණ්ඩායම විසින් මෙවර තරග වාරය සදහා සිය කණ්ඩායමෙන් නිදහස් කරන ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ලසිත් මාලිංග ද ඇතුළත් කර තිබුණා.

අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් මුම්බායි කණ්ඩායම සදහන් කළේ මාලිංග ෆ්රැන්චයිස් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බවට තම කණ්ඩායම දැනුවත් කර ඇති බවයි.

අයි.පී.එල් තරගවලදී කඩුලු 170ක් දවා ගෙන ඇති ඔහු අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියයි.
මුම්බායි කණ්ඩායම හැරුණු විට ජැමයිකා තලවාස්, ගයානා ඇමසන් වොරියස්, කුල්නා ටයිගර්ස්, රාන්ග්පූර් රයිඩර්ස්, මෙල්බර්න් ස්ටාර්ස් වැනි කණ්ඩායම් සදහා මාලිංග ක්‍රීඩා කර තිබෙනවා.

20යි 20 පිටියේ දෙවැනි වැඩිම කඩුලු ලාභියා වන ලසිත් මාලිංග බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 390ක්.

 

Your Comments