මාලිංගගේ විශිෂ්ඨ අවසන් පන්දුවෙන් මුම්බායි පිලට අයි.පී.එල් ශූරතාවය

19

සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින්.
හයිදරාබාද් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.
ශේන් වොට්සන් ලකුණු 80ක් රැස් කළා.
ඔහු ලබා දුන් උඩ පන්දු කිහිපයක්ම මුම්බායි කණ්ඩායමේ පන්දු රකින්නන් අතින් ගිලිහී යාම විශේෂත්වයක්.
පන්දු යැවීමේ දී ජෙස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 2ක් බිද හෙලුවා.
අවසන් පන්දුවාරයේ දී චෙන්නායි කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 9ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යවනු ලැබුවේ ලසිත් මාලිංග විසින්.
අවසන් පන්දුවේදී ෂර්දුල් තාකූර්ගේ කඩුල්ල දවා ගත් ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිව්වන වරටත් අයි.පී.එල් ශූරතාවය හිමි කර දීමට සමත් වුණා.

මෙම තරගාවලි ජයත් සමගින් රෝහිට් ෂර්මා නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා අතරට එක් වූයේ වැඩිම වාර ගණනක් අයි.පී.එල් ශූරතාවය දිනා ගත් කණ්ඩායම ලෙසයි.
අවසන් තරගයේ වීරයා ලෙස ජෙස්ප්‍රිට් බුම්රා සම්මානයෙන් පිදුම් ලැබූ අතර, ඇන්ඩි්‍ර රසල් තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

Your Comments