පොදු රාජ්‍ය කාන්තා ක්‍රිකට් සුදුසුකම පිළිබඳ ICCය පැහැදිලි කරයි

6

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සදහා සුදුසුකම් ලබන ආකාරය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය හා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

2022 වසරේ දී එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් තරග ඉසව්ව සදහා රටවල් 8ක් එක්වීමට නියමිතයි.

එම කණ්ඩායම් අතරට මේ වන විටත් එංගලන්තය සුදුසුකම් ලබා ඇති අතර ලබන අප්‍රේල් පළමු වනදා වන විට 20යි 20 කාන්තා ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින සෙසු රටවල් 6 ද ඊට සෘජුව සුදුසුකම් ලබනු ඇති.

ක්‍රීඩා උළෙලට එක්වන අවසන් කණ්ඩායම තෝරා ගැනීම සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සංවිධාන කරන අතර, ඉන් ජය ගන්නා කණ්ඩායමට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වීමේ අවස්ථාව හිමි වනවා.

මේ වන විට අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වලට අනුව කොදෙව්වන් 6 වන ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේ පසුවනවා.
ඒ අනුව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සෘජුව සුදුසුකම් ලැබීමටනම් ලබන වසරේ අප්‍රේල් පළමු වැනිදා වන විට ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්හි පළමු කණ්ඩායම් 7 අතරට පිවිසිය යුතුයි.

එසේ නොවුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලැබීමේ තරග වටය ජය ගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්වීමට සිදුවනවා.

සියලු ක්‍රිකට් තරග ජූලි 28 සිට අගෝස්තු 8 වනදා දක්වා බර්මිංහැම්හි එඞ්ග්බස්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Your Comments