නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

12


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙරට අතර අද පැවැති තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් නවසීලන්තය ලකුණු 115කින් ජය ගැනීමත් සමගයි.
නෙල්සන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 364ක්.
සිය 20 වන ශතකය වාර්තා කළ රෝස් ටේලර් ලකුණු 137ක් සහ සිය පළමු ශතකය රැස් කළ හෙන්රි නිකල්ස් නොදැවී ලකුණු 124ක් ලබා ගත්තා.
ඉනිමේ තෙවන කඩුල්ල සදහා කේන් විලියම්සන් සහ රෝස් ටේලර් අතර ලකුණු 116ක සබදතාවයක්ද, සිව්වන කඩුල්ල සදහා ටේලර් සහ හෙන්රි නිකල්ස් අතර ලකුණු 154ක සබදතාවයක් ද ගොඩ නැගුණා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග ලකුණු 93කට කඩුලු 3ක් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 41යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 249ක් පමණයි.
නැවතත් හුදෙකලා ඉනිමක් ක්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 63කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්.
කුසල් ජනිත් ලකුණු 43ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 46ක් ලබා ගත්තා.
ධනුෂ්ක ගුණතිලක මෙම තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් පිතිකරණයේ නිරත වීමට පැමිණියේ අංක 7 ස්ථානයේයි.
කෙසේ වෙතත් ඔහු සහ තිසර අතර 6 වන කඩුල්ල සදහා ලකුණු 101ක සබදතාවයක් ගොඩ නැගුණා.
ධනුෂ්ක රැස් කළ ලකුණු සංඛ්‍යාව 31ක්.
පන්දු යැවීමේ දී ලොකී ෆර්ගියුසන් කඩුලු 4ක් බිද හෙලුවා.
දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගය ලබන සිකුරාදා පෙරවරු 11.30 ඔක්ලන්ඞ් හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments