ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේලට එන්න කියයි

786

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවන් පත් කිරීම සඳහා තවත් කාලයක් ලබා දෙන ලෙසට ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, ක්‍රිකට් විධායක කමිටු නිළධාරීන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා අතර ඊයේ පැවැති සාකච්ඡාවකදීයි.

නවසීලන්ත තරගාවලිය අවසන් වන තුරු නව පුහුණුකරුවන් පත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත් පසුගියදා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේ නවසීලන්ත තරගාවලියට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් පත් කරනු ඇති බවයි.

ක්‍රීඩා අමාත්‍යරවයාගේ දැනුම් දීමකට අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන්ට ඉල්ලා අස් වන ලෙසට මීට පෙර ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන් වෙත දන්වා තිබුණා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරය භාරගන්නා ලෙස ඉල්ලීමක් කළ බව ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

කොළඹ දි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

Your Comments