ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට

16

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එංගලන්ත සහ නවසීලන්ත ක්‍රීඩකයින් රැසක් එහි ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ලෝක කුසලාන තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පිතිකරණ අංශයෙන් ප්‍රසාද ලකුණු 799 සීමාව දක්වා අවසන් පූර්ව තරගයෙන් පසුව ඉදිරියට පැමිණ තිබූ නමුත් තරගාවලිය අවසන් වන විට ඔහුගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සටහන්ව ඇත්තේ 796ක් ලෙසයි.

විලියම්සන් ශ්‍රේණිගත කිරීම්හි 6 වන ස්ථානයේ රැදී සිටින අතර, නවසීලන්තයේම රෝස් ටේලර් 5 වන ස්ථානයේ රැදී සිටිනවා.
එංගලන්තයේ බෙන් ස්ටොක්ස් ප්‍රසාද ලකුණු 694ක් ලබා ගනිමින් ස්ථාන පහකින් ඉදිරියට පැමිණ ඇත්තේ 20 වන ස්ථානය දක්වායි.

ජේසන් රෝයි ප්‍රථම වරට පිතිකරණ අංශයේ පළමු ස්ථාන 10 අතරට පැමිණ තිබෙනවා.

මේ අතර, ඉන්දියාවේ රවීන්ද්‍ර ජඬේජා 108 වන ස්ථානය දක්වා ස්ථාන 24කින් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.
ඔස්ටේ්‍රලියාවේ ස්ටීවන් ස්මිත් 29 වන ස්ථානය දක්වා ද, ඇලෙක්ස් කෙරී 32 වන ස්ථානය දක්වා ද ස්ථාන දෙක බැගින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රසාද ලකුණු 676 ක් ලබා ගනිමින්.
නවසීලන්තයේ මැට් හෙන්රි එහි පළමු ස්ථාන 10 තුළට යලි පැමිණ තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි දෙවන ස්ථානයේ පසුවන බෙන් ස්ටොක්ස් සිය ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 319 දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව තිබීම විශේෂත්වයක්.

නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීම්හි පෙරමුණ තවදුරටත් ආරක්ෂා කර ගැනීමට ලෝක ශූර එංගලන්ත කණ්ඩායම සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 125ක් ලබා ගනිමින්.
ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

Your Comments