චමරිගේ ඉනිම හමුවේ එංගලන්ත ක්‍රීඩිකාවන්ට කඩුලු 10ක අන්ත පරාජයක්

53

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සමගාමී ව පැවැත්වෙන පුහුණු තරග වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගයෙන් ජය වාර්තා කළා.

එංගලන්තයට එරෙහිව ඊයේ ඇඩිලේඞ් හි දී පැවැති එම තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය ගත්තේ කඩුලු‍ 10කින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු‍ 9ක් දැවී ලකුණු 122ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 22කට කඩුලු‍ 4ක් ද, චමරි අතපත්තු ලකුණු 21කට කඩුලු‍ 3ක්ද බිඳ හෙලු‍වා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 12යි පන්දු 3ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටිය දී.

නායිකා, චමරි අතපත්තු පන්දු 50කින් නොදැවී ලකුණු 78ක් රැස් කළේ, හයේ පහර 5ක් සහ හතරේ පහර 8ක් සමගින්.

හසිනි පෙරේරා නොදැවී ලකුණු 29යි.

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග වටය යටතේ අදත් ඇඩිලේඞ් හි දී තරගයක් පැවැත්වෙනවා.

ඒ, නවසීලන්ත සහ තායිලන්ත කණ්ඩායම් අතරයි.

Your Comments