ඉලක්කය නිවැරදිව නොදැන පන්දුවට පහර දීමේ දුර්ලභ අවස්ථාවකට මුහුණ දීමට බංග්ලාදේශයට සිදු වෙයි

20

තරගය ජයග්‍රහණය කිරීම සදහා හඹා යා යුතු ඉලක්කය නිවැරදිව නොදැන පන්දුවට පහර දීමට සිදු වීමේ දුර්ලභ අවස්ථාවකට මුහුණ දීමට ඊයේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සිදු වුණා.

 

ඒ නවසීලන්ත කණ්ඩායම සමග පැවති දෙවන 20 යි 20 තරගයේදීයි.

නේපියර් හී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට වරින්වර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර පන්දු වාර 17යි පන්දු 5ක් තුළ කඩුලු 5ක් දැවී ඔවුන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 173ක්.

ඉන් පසුව ද වර්ෂාව ඇද හැලුණු අතර ඉතිරි පන්දුවාර කිහිපය ක්‍රිඩා කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ.

පසුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයග්‍රහණය සදහා පන්දුවාර 16ක් තුළ බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගත යුතුව තිබු ලකුණු සංඛ්‍යාව 148ක්.

කෙසේ වෙතත් පන්දුවාර 9ක් ක්‍රිඩා කරමින් සිටියදී තරගය මද වේලාවකට අත් හිටුවීමට සිදු වුයේ බංගලාදේශ කණ්ඩායමට හඹා යා යුතු නිවැරදි ඉලක්කය කුමක්ද යන්න මතු වු ගැටලුව හේතුවෙන්.

එම අවස්ථාවේ පිටියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික ක්‍රිස් බ්‍රවුන් හා වොයන් ක්නයිට් ප්‍රකාශ කලේ තරගය ජයග්‍රහණය කිරීම සදහා බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ ලකුණු 170 ක් ලබා ගත යුතු බවයි.

අනතුරුව 13 වන පන්දු වාරය ක්‍රියාත්මක වද්දී යලි විනිසුරුවරුන් දැනුම් දුන්නේ තරගය ජයග්‍රහණය කිරිම සදහා පන්දුවාර 16කදී ලකුණු 171ක් ලබා ගත යුතු බවයි.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 16 අවසානයේ කඩුලු 7ක් දැවී බංග්ලාදේශයට ලබා ගත හැකි වුයේ ලකුණු 114ක් පමණයි.

ඒ අනුව තරග 3කින් සමන්විත 20 යි 20 තරගාවලිය දෙකට බින්දුවක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් මෙය අභියෝගාත්මක තීරණයක් බවයි ක්‍රිඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

 

Your Comments