අබුඩාබි ටී10 කිරුළ මරාත ඇරබියන්ස් කණ්ඩායමට

11

අබුඩාබි ටී 10 හෙවත් පන්දුවාර 10යි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට මරාත ඇරබියන්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ, අවසන් තරගයේ දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 87ක් ලබා ගත්තා.
අසිෆ් ඛාන් නොදැවී ලකුණු 25ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 23ක් රැස් කළා.
ඉනිමේ අවසන් පන්දු ත්‍රිත්වයේ දී දුවද්දී දැවී යාම් 3ක් සිදු වූ අතර, එම දුවද්දී දැවී යාම් ත්‍රිත්වයටම සම්බන්ධ වූයේ කඩුලු රකින් ක්‍රීඩක චඞ්වික් වොල්ටන් වීම විශේෂත්වයක්.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මරාත ඇරබියන්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 16ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු දෙකක් දැවී සිටියදීයි.
චඞ්වික් වොල්ටන් නොදැවී ලකුණු 51යි.
තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ මරාත ඇරබියන්ස් කණ්ඩායමේ ක්‍රිස් ලින්.
මරාත ඇරබියන්ස් කණ්ඩායම සදහා ශ්‍රී ලංකාවේ දසුන් ශානක ද ක්‍රීඩා කළා.
මේ අතර, මෙවර තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට තිසර පෙරේරා නායකත්වය දැරූ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් වුණා.

Your Comments