අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූලයි – ජගත් ක්‍රිකට් කවුන්සිලය

3

දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල බවට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරඟවලදී ඔහුට පන්දු යැවිය හැකියි.
නව ඉරියව්වට අදාළ වීඩියෝ දර්ශන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය 22 වන දා ජගත් ක්‍රිකට් කවුන්සිලයට භාර දී තිබූණා.

ඒවා නැරඹීමෙන් පසු තීරණය වී ඇත්තේ ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්මත අංශක 15 සීමාව තුළ පවතින බවයි.

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට අවස්ථා දෙකකදී තහවුරු වීම හේතුවෙන් ඔහුට 2019 වසරේ සැප්තැම්බර් 19 වනදා අයි.සී.සීය විසින් වසරක කාලයක් පන්දු යැවීමේ තහනමක් පනවනු ලැබුවා.

2018 වසරේ දෙසැම්බර් මාසයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අකිල ධනංජයට පළමු වරට පන්දු යැවීමේ තහනමක් පැන වූ අතර ඉරියව්ව පිළිබද පරීක්ෂණවලින් සමත්වීම තුළින් 2019 වසරේ පෙබරවාරි මාසයේ දී ඔහුට යළි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමේ අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත්, ඔහුගේ ඉරියව්ව සැක සහිත බවට 2019 වසරේ අගෝස්තු මාසයේ දී යළි චෝදනා එල්ල වූ අතර, ඊට අදාළව මුහුණ දුන් පරීක්ෂණයෙන් අකිල ධනංජය අසමත් වීමත් සමග වසරක පන්දු යැවීමේ තහනමක් පැනවුණා.

Your Comments