ලංකාපුර පුලස්තිගම සිරි පැරකුම් පිරිවෙනේ ඉදිකරන ලද දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සග සතු කොට පූජා කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

15

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 14.3ක වියදමින් ලංකාපුර පුලස්තිගම සිරි පැරකුම් පිරිවෙනේ ඉදිකරන ලද දෙමහල් භික්ෂු නේවාසිකාගාරය සග සතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුවුණා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත විහාරස්ථානයේ ඉදිකරන ලද වාහල්කඩ සහ වලාකුථ බැම්ම විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.

භික්ෂු නේවාසිකාගාරයේ ඉදිකිරීම් ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වන ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අතර එහි අණදෙන නිලධාරි මේජර් පුංචිහේවා මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුකෙරුණා.

විහාරාධිපති පූජ්‍ය හබරණ රතනධම්ම ස්වාමින්වහන්සේ ප්‍රමුඛ දායක සභාව විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වූවා.

සෝමාවතී රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය අට්ටන්ගනේ සාසනරතන ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරතන්ය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුථ මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Your Comments