අගමැති පුතු දිවුරුම් දෙන’යුරු – මව, මහගෙදර සිට බලා සිටි’යුරු (PHOTOs)

240

ඉන්දීය මහා මැතිවරණයෙන් ජයගත් අගමැති නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍ය ධුරයේ යළි දිවුරුම් දුන්නේ දෙවැනි ධුර කාලය වෙනුවෙන්.

උත්සවය ඊයේ රාත්‍රී 7.00 ට ආරම්භ කෙරුනේ නවදිල්ලි නුවර ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන් හිදී.

අගමැතිවරයාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානීන් සහ ආරාධිතයන් රැසක් ඊට එක්ව සිටි අතර එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද සහභාගී වූවා.

භූතානය, මියන්මාරය, තායිලන්තය ඇතුලු ආසියානු රටවල් රැසක රාජ්‍ය නායකයන පිරිසක් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන් පිරිසක්, ප්‍රකට ව්‍යාපාරිකයන් මෙන්ම ක්‍රීඩා සහ සිනමා තරු ඇතුළු අමුත්තන් අටදහසක් පමණ නරේන්ද්‍ර මෝදිගේ දිවුරුම්දීමේ උත්සවයට සහභාගි වීම විශේෂත්වයක්.

(AP Photo/Manish Swarup)

පකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ට අරාධනා කර තිබුනේ නැහැ.

කෙසේ වෙතත් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දයාබර මෑණියන්ද මෙම උත්සවයට සහභාගී වූයේ නැහැ.

තම අගමැති පුතු දිවුරුම් දෙන අයුරු මව Heeraben Modi දැක බලා ගත්තේ රූපවාහිනියෙන්.

ඇය මේ රූපවාහිනියෙන් තම පුතුගේ තවත් විශේෂිත අවස්ථාවක් බලා සතුටු වන්නේ ඔවුන්ගේ මහගෙදර වන Gandhinagar හි සිටයි.

නරේන්ද්‍ර මෝදී දිවුරුම් දීමට පෙර මහගෙදරට ගොස් ආදරණීය මවගේ ආශීර්වාදය ලබා ගත්තා.

ඊයේ පෙරවරුවේ නරේන්ද්‍ර මෝදි, ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායි සහ මහත්මා ගාන්ධි යන නායකයින්ගේ ස්මාරකවලට බුහුමන් දැක්වූවා.

(AP Photo/Manish Swarup)

ඉන්දීය මහා මැතිවරණයෙන් මෙවර අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත්තා.

ඒ ලෝක් සභාවේ ආසන 545න් 354ක්ම හිමි කර ගනිමින්.

නරේන්ද්‍ර මෝදි ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය අද පස්වරුවේ වාර්තා කළා.

ජුනි මස 7-8 දෙදින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනේ සංචාරයක් නිරතවීමට නියමිතයි.

මාලදිවයින් සංචාරයේදී නරේන්ද්‍ර මෝදී එරට පාර්ලිමේන්තුව ඇමතීමට සැලසුම් කර තිබෙනවා.

එම සංචාරයෙන් අනතුරුවයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ.

1950 සැප්තැම්බර් 17 උපන් නරේන්ද්‍ර මෝදී 68 වන වියේ පසුවනවා.

නරේන්ද්‍ර මෝදි 2014 මැයි 26 වනදා පළමු ධුර කාලයේ කටයුතු ආරම්භ කළා.

Your Comments