එල්ෆින්ස්ටන් – වසර 6කට පසු යළි ජනතා අයිතියට

36

ශ්‍රී ලාංකේය සිනමා, නාට්‍ය හා රංගකලා ඉතිහාසයේ කීර්තිමත් රඟහලක් ලෙස මෙරට කලාකරුවන්ගේ හා ප්‍රේක්ෂක ජනතාවගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වූ, ජාතික මෙන්ම ඓතිහාසික වටිනාකමක් ඇති එල්ෆින්ස්ටන් රඟහල, අංග සම්පූර්ණ නවීන රංගශාලා තාක්ෂණය සහිතව යළි ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මග පෙන්වීම යටතේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතනවල ප්‍රධානීන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගී වූවා.

එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ඉදිකිරීම සඳහා මුල්ගල තබා ඇත්තේ 1925 ඔක්තෝබර් 19 වැනි දින ඉංග්‍රීසි ජාතික එච්.ඊ. නිව්න්හැම් මහතා විසින්.

ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පත සඳහන් කර ඇති අන්දමට නිවුන්හැම් මහතා එවක නගරාධිපතිවරයෙක්.

ආසන 800කින් යුත් සිනමා ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ එච්.එෆ්. බිල්ටෝරියා මහතා විසින්.

වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු මෙන් ම පර්සියානු සම්භවයක් සහිත සිනමා ව්‍යාපාරිකයෙකු වූ ජේ.එෆ්.මාදන් විසින්, එල්ෆින්ස්ටන් නම් ආණ්ඩුකාරයා සිනමාව වෙනුවෙන් කළ සේවය අගයනු වස්, මෙම සිනමා ශාලාව ‘එල්ෆින්ස්ටන්’ ලෙස නම් කර තිබෙනවා.

1979 ජනවාරි 04 දින ටවර් හෝල් රඟහල පදනම පිහිටුවීමෙන් පසු එල්ෆින්ස්ටන් රඟහල ටවර් හෝල් රඟහල පදනම වෙත පවරා ගැනුණා.

දේශීය ලක්ෂණ පිළිබිඹු කළ ප්‍රථම සිංහල සිනමා පටය වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් මහතාගේ ‘රේඛාව’ ප්‍රථම වරට ප්‍රදර්ශනය කර ඇත්තේද එල්ෆින්ස්ටන් රඟහලේ වීම විශේෂත්වයක්.

Your Comments