UPDATE: පාලමේ ගැටුණු ‘කේරළ ගංජා රථයේ’ හිමිකාරියගේ සොයුරා අල්ලයි

122

මරදාන මගී ගුවන් පාලම ආසන්නයේදී අනතුරකට ලක් වූ රථයේ හිමිකාරියගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රථයේ හිමිකාරිය මැදපෙරදිග සේවය කරන බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම වාහනය කුලී පදනම මත බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයකට ලබා දී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

රථයේ හිමිකාරිය විදෙස් ගතව ඇති බැවින්, එහි භාරකරු ලෙස කටයුතු කරන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයායි.

පොලීසිය ප්‍රකාශ කළේ, කුලී පදනම මත රථය ලබා ගෙන ඇති පුද්ගලයින් එය කේරළ ගංජා ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැකකරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මරදානේදී අනතුරට ලක්වූ සුපිරි මෝටර් රථයේ තුළ තිබී කේරළ ගංජා කිලෝ 68ක් සොයා ගෙන තිබුණා.

අද අලුයම 3.30ත්- 4.00ත් අතර කාලයේ දී මෝටර් රථය මරදාන දුම්රිය ස්ථානය ආසන්නයේ මගී පාලමේ ගැටී තිබෙනවා.

ඒ පිළිබඳ ලද තොරතුරකට පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ ගැටුණු මෝටර් රථයෙන් පැමිණි පිරිස, පලාගොස් තිබෙනවා.

රථය පරීක්ෂා කිරීමේ දී කේරළ ගංජා කිලෝ 68ක් සොයා ගැනුණා.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 70ක්.

කේරළ ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා CCTV දර්ශන උපයෝගී කර ගනිමින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.

Your Comments