5 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල ඉහළට

29

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ලබාදෙන ශිෂ්‍යාධාර මුදල ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවකට අනුවයි. ඒ අනුව මෙතෙක් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට මාසිකව හිමි වූ රුපියල් පන්සියයක මුදල වෙනුවට රුපියල් 750ක මුදලක් ලබාදීමට අනුමැතිය හිමිව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
එසේම ශිෂ්‍යත්ව විභාගය සමත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 250 දෙනෙකු සඳහා ද ශිෂ්‍යාධාර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ලෝක ආර්ථික බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් සිටින අවස්ථාවකද වුවද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජය ලබාදෙන සහන තවදුරටත් වර්ධනය කිරීම යුතුකමක් හා වගකීමක් වශයෙන් සලකන බවයි.

Your Comments