17 හැවිරිදි පෙම්වතිය විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා අලෙවි කළ පෙම්වතා සහ අනුබල දුන් ලැගුම් හල් හිමිකරු අත්අඩංගුවට
ජයන්ත වීරසේකර - වැල්ලවාය

92

දාහත් හැවිරිදි දැරියක් මොනරාගල තිස්ස පාර ප්‍රදේශයේ ලගුම්හලක රඳවාගෙන ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව කියන එම තරුණියගේ පෙම්වතා සහ ඊට අනුබල දුන් ලැගුම්හල් හිමිකරුවෙකු මොනරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල තිස්ස පාර ප්‍රදේශයේ ලැගුම්හලක දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන විවිධ පුද්ගලයන් හට මුදලට අලෙවි කරන බවට මොනරාගල පොලිසියට ලද තොරතුරක් අනුව මොනරාගල පොලිසියේ ළමා හා කාන්තා අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වින්දිත දැරිය කුරුණෑගල ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි දාහත් හැවිරිදි දැරියක් බවත් සැකකාර පෙම්වතා කුරුණෑගල කුඹුක්ගැටේ, මිල්ලගොල්ල ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි තරුණයෙක් බවත් පොලිසිය පවසනවා.

මෙම අපරාධයට අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ලැගුම්හල් හිමියා මහියංගණය ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක් පමණ වන පුද්ගලයකු බව අනාවරණය වී තිබෙනවා.

මෙම දැරිය සැකකාර පෙම්වතා සමග නිවසට නොදන්වා ඉකුත් 18 වනදා පැමිණ සැකකරුගේ හිතවතෙකුගේ නිවසේ සිට පසුදා මොනරාගලට පැමිණ මෙම ලැගුම්හලේ නතර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ, ඊට පෙර මෙම දැරිය ඉකුත් පෙබරවාරි මස විසි දෙවන දින කුරුණෑගල නගරයේ වැව රවුමේ පිහිටි ලැගුම්හලකදී පෙම්වතා සමග රාත්‍රියක් ගත කර ඇති බවයි.

දාහත් හැවිරිදි දැරියක් අයුතු ලෙස රඳවාගෙන විවිධ පුද්ගලයන්ට විකුණූ ඇගේ පෙම්වතා බව කියන මෙම සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් තම පෙම්වතිය මුදලට ලිංගික කටයුතු සඳහා පුද්ගලයන්ට අලෙවි කලේ කුලී නිවසක් ලබා ගැනීමට අවශ්‍ය කරන මුදල් සොයා ගැනීමට බවයි.

වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර පෙම්වතා සහ ඊට අනුබල දුන් ලැගුම්හල් හිමියා මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත දීපාල් විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එච්.පී.කේ ගාල්ලගේ යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත මොනරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති මු.ප්‍ර.පො.ප ඉන්දික ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල පොලිස් ළමා හා කාන්තා අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments