ගම්වදින අලි නැවතුමට තණමල්විලට ලේසර් කිරණ

54

(සූරියවැව – නුවන් ජයසේකර)

වන අලින්ගෙන් පීඩා විඳි හම්බෙගමුව පොකුණුතැන්න ගම්මානයට නවීන තාක්ෂණයෙන් යුතු ලේසර් කිරණ සහිත විදුලි වැටකින් ආරක්ෂාව ලබා දී තිබෙනවා.
ඒ පුද්ගලික බැංකුවක රුපියල් ලක්ෂ 20 ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ.
සයිරන් නලා සහිත ආරක්ෂිත වන අලි වැට ඉදිකර ජනතා අයිතියට පත් කෙරුණේ පසුගිය 14වනදා.

උඩවලව ජාතික වනෝද්‍යානයට මායිම්ව තණමල්විල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හම්බෙගමුව, පොකුණුතැන්න ගම්මානයේ පවුල් සංඛාව 35ක්.

ගම්මානයේ ජනතාව කාලාන්තරයක් තිස්සේ දැඩි ලෙස වන අලි උවදුරට ලක්ව තිබෙනවා.

වන අලින්ගෙන් ගම ආරක්ෂා කරගැනිම සදහා රජයෙන් ගම වටා විදුලි වැටක් ඉදිකර තිබුණද වන අලි එම වැටද පෙරළාගෙන සෑම දිනකට ගම් වැදීම හේතුවෙන් ජනතාව දැඩි අසරණ තත්වයකට පත්ව සිටියා.

ඒ අනුව වන අලින් ගම් වැදීම වැළැක්වීම ට, විදුලි වැටින් ගම පැත්තට වන්නට නවීණ වන අලි ආරක්ෂණ වැටක් ඉදිකිරිමටයි පියවර ගැණුනේ.

නවීන තාක්ෂණයේ අලි වැටේ ක්‍රියාකාරීත්වය.

ලේසර් කිරණ, සයිරන් නලා හා විදුලි ආලෝක බල්බ වලින් යුක්තයි.

නව ආරක්ෂණ වැට ඉදිකිරිමට මත්තෙන් තාක්ෂණික නිළධාරීන් ගම්මුන් සමග සාකච්ජා කර තිබෙනවා.
ගම්මුන්ට දැඩි ගැටළුවක් වි තිබුනේ වන අලි විදුලි වැට පෙරලාගෙන ගම් වදින නමුත් වන අලියා රාත්‍රි කාලයේ කුමන ස්ථානයකින් ගමට ඇතුළු වීද යන්න පිළිබද සොයාගැනීමට නොහැකි වීමයි.
ඒ අනුව ජන ජිවිත වන අලින්ට ගොදුරු විමයි.

මේ සියළු කාරණා පිළිබඳ නිසි අධ්‍යනයකින් පසු නව ආරක්ෂණ වැට ඉදිකිරිම සිදු කර තිබෙනවා.

කිලෝ මීටර් එක හමාරක පමණ දුරකින් යුතු වැට දැනට රජයෙන් ඉදිකර තිබෙන විදුලි වැටට මීටර් කිහිපයක් ගම පැත්තට වන්නටයි ඉදිකර ඇත්තේ.

වෙනම කොන්ක්‍රිට් කණු සිටුවා එහි ලේසර් කිරණ වැටක් ඉදිකර තිබෙනවා.

අඩි 20කට ලේසර් කිරණ යන්ත්‍ර දෙකක් හා විදුලි ආලෝක බල්බයක් හා ලේසර් කිරණ යන්ත්‍ර හතරකට එක් සයිරන් නලාවක් ඇතුළත්.

ගම් වදින වන අලින් විදුලි වැට බිඳගෙන ගම තුළට පිවිසියහොත් ඒ එන වන අලින් මෙම ලේසර් කිරණ වැටද පසුකර යා යුතුයි.

එහිදී වන අලි ලේසර් කිරණ වැට පසුකර යනවාත් සමගම එම ස්ථානයේ ඇති විදුලි බල්බය දැල්වෙයි.

එහි සයිරන් නලාවද ක්‍රියාත්මක වෙයි.

එමෙන්ම විදුලි වැට අසලම නිවසටද සයිරන් නලාවක් සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වන අලි ගම් වැදි බව හා ගම් වදින ස්ථානය පිළිබඳ ගම්මුන්ට දැන ගැනිමට හැකිවෙයි.

එමෙන්ම සයිරන් නලා ශබ්දය නිසා ගම් වදින වන අලින් ඊට බිය වී නැවත කැලයට ම යාමට උත්සහ ගනියි.

යම් හෙයකින් සයිරන් නලා ශබ්දයද නොතකා අලියෙකු ගම් වැදුනහොත් ඒ බව ගම්මුන්ට දැනගැනිමට පහසු වන පරිදි විදුලි බල්බ ස්ථාන ගත කර තිබෙනවා.

ඒ තුළින් වන අලියා ගම් වැදුණු නිවැරදි ස්ථානය රාත්‍රියේදීම ගම්මුන්ට දැනගැනිමට පහසු වෙයි.

අඩි 20න් 20 ට සිටුවා ඇති කොන්ක්‍රීට් කණු දෙකක් අතර කිරණයක් ගමන් කරයි.

කණු දෙක අතර කිරණ සම්බන්ධතාව බිඳ වැටුනහොත්, එනම් අතරමැදින වන අලියා ගමන් කරන විට සයිරන් නලා ක්‍රියාත්මක වෙයි.

ඊට අමතරව ප්‍රදේශය ආවරණය වන පරිදි ෆ්ලෑෂර් ලයිට් සවි කර තිබේ.

ඒ තුළින් අලියා කුමන ස්ථානයක සිටින්නේ ද යන්න නිවැරදිවම දැනගන්නට හැකියාව ලැබෙයි.

අලියා ගමට ඇතුළු වි ඇති ඉසව්ව නිවැරදිව දැනගෙන අලියා පන්නා දැමිමට හෝ ගම්මුන්ට ආරක්ෂිත ස්ථානයකට යාමට මෙම ආරක්ෂණ පද්ධතිය උපකාරී වෙයි.

ගම්මුන් පවසන්නේ මෙම වැටට සමාන්තරව දෙහි හා දොඩම් පැල වගාවකුත් කරගෙන යන බවයි.

පැඟිරි සුවඳ හේතුවෙන් අලියට ගොයම් හෝ වෙනත් භෝගවල කිරි සුවඳ නැතිවේ.
අලියට ගමට ඒමට ඇති අවස්ථාව නැතිවී යයි.

මීට අමතරව මී මැසි පාලනයත් ගම තුළ ව්‍යාප්ත කර ඇත.

මෙම ව්‍යාපෘතිය තුළින් ගමට වන අලි ඒම නවතිනවා සේම ගම්මුන්ට ආර්ථික වාසියකුත් ලැබෙයි.

පුද්ගලික බැංකුවක සහයෝගය යටතේ එක්ව ක්‍රියාත්මක කල මෙම ප්‍රජා සත්කාරය ජනතා අයිතියට පත් කිරීම සඳහා තණමල්විල සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිළධාරින් පිරිසක් එක්ව සිටියා.

Your Comments