කතානායක නීති උපදෙස් ඉල්ලයි

148

උද්ගතවූ දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් නීති උපදෙස් ඉල්ලා ඇති බව කතානායක කාර්යාලය පවසනවා.
එම උපදෙස් අනුව අගමැති ධුරය සම්බන්ධයෙන් නීතිමය තත්වය පිළිබඳ  මාධ්‍ය වෙත කරුණු දක්වන බවයි කරු ජයසූරිය මහතා පවසන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවිසින්  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළා.
මහින්ද රාජපක්ෂ මහතා ධුරයේ දිවුරුම් දුන්නේ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ව්‍යවස්ථානුකූලව තවමත්  අගමැති තමන් බවයි.

මේ අතර වත්මන් දේශපාලන අර්බුදය විසඳීම සඳහා පාර්ලිමේන්තුව නැවත රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය  කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවටද වාර්තා වූවා.

ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත්වූ මහින්ද රාජපක්‍ෂ මහතා  අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා  වත්මන් ජනපතිට කිසිදු අයිතියක් නොමැති බව  පාර්ලිමේන්තුවේ සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අග්‍රාමාත්‍ය ධූරය පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ අවබෝධයකින් තොරව බවයි හෙතෙම සඳහන් කරන්නේ.

" … අපි ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාගෙන් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.
එක්සත් ජාතික පෙරමුණ අපි සූදානම් පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න.
ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මැතිවරණයත් පරාජයට පත්වූ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍ය ධූරය සඳහා පත් කරන්න වත්මන් ජනපතිට කිසිදු අයිතියක් නැතිමුත් ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍ය ධූරය සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිබඳ අවබෝධයකින් තොරවයි.
අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතික පෙරමුණ එක්ක ඉන්නවා.
කවුරු කොහොම ආණ්ඩු හදන්න වුනත් උත්තරීතර පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වන්න ඕනේ.
පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් තියෙන්නේ එක්සත් ජාතික පෙරමුණටයි…"

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මීට ටික වෙලාවකට  පෙර අරලියගහ මන්දිරයේ දී පැවතී මාධ්‍ය සාකච්ඡාවකදී.

 

Your Comments