පොල් කට්ටා ඝාතනයේ සැකකරු දින 11කට පසු පිස්තෝලයක් සමග කොටු
(සුනෙත් ගාල්ලගේ - ගාල්ල)

16

ගාල්ල ඇල්පිටිය අනුරුද්ධගම ප්‍රදේශයේ දී පසුගිය මස 27 වන දා  කපාකොටා වෙඩිතබා ඝාතනය කරන ලද කුරුඳු තලන්නෙකු වූ  තොම්මයා හකුරු සුදිත් කුමාර (42) නොහොත් පොල් කට්ටා යන නාමයෙන් හැඳින්වූ පුද්ගලයා ඝාතනයේ සැකකරු  ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කරන්දෙණියේ දි අත්අඩංගුවට ගත් මොහු සන්තකයේ පිස්තෝලයක් හා පතොරම් 1ක්ද තිබූ  බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද ගාල්ල ඇල්පිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිසිය පවසන පරිදි පසුගිය පොල් කට්ටා ඝාතනයේ සුල මුල මෙසේයි.

ගාල්ල ඇල්පිටිය අනුරුද්ධගම ප‍්‍රදේශයේදී (27) දින රාත‍්‍රී 08.40ට පමණ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියා සිටී.

මේ ආකාරයට ඝාතනය කර තිබුනේ, කරන්දෙණිය මණ්ඩකන්ද පදිංචි තොම්මයා හකුරු සුජිත් කුමාර හෙවත් පොල් කට්ටා නැමති 42 හැවිරිදි කුරුඳු තැලූම් කරුවෙකු වන විවාහක අයෙකි.

මුහුණේ දකුණු පැත්තේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් සහිතව නිවෙසේ ඇඳ මත එම පුද්ගලයා මිය ගොස් සිට ඇත.

119  පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත එම ස්ථානයට පොලීසිය පැමිණ පරීක්ෂා කිරීමේදී මිදුලේ ලේ පැල්ලම් කිහිපයක් තිබූ බවද පොලීසිය කියයි.

මිය ගිය පුද්ගලයා බිරිඳගෙන් වෙන්වී මීට මාස හතරකට පමණ පෙර විදේශගතව සිටින ඥාතියෙකුගේ අනුරුද්ධගම පිහිටි නිවෙසක තාවකාලිකව නැවතී සිටි බවට තොරතුරු අනාවරණය කරගත් බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය වෙඩි තැබීමක් නිසා සිදු වූයේ දැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සිද්ධිය සම්බන්ධයෙන්, මහේත‍්‍රාත් මරණ පරීක්ෂණය ද එදිනම පැවැත්විණි.

ඇල්පිටිය පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතාගේ උපදෙස් මත ඇල්පිටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක අජිත් ප‍්‍රසන්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පැවැත්විමෙන් පසුව සැකකරු 2018.10. 07 වන දින අත්අඩංගුවට ගෙන තිබිණි.

 

 

Your Comments