හේමසිරි සහ පූජිත්ට ඇප ලබාදීමට එරෙහි CID ප්‍රතිශෝධන අයදුම්පත ගැන තීන්දුව 9 වන දා

4

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප ලබාදීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් වන තීන්දුව ලබන 9 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය අද ප්‍රකාශ කළා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයේ නෛතික දෝෂ පවතින බවයි එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයාගේ පිළිතුරු දේශනය සිදුකරමින්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ.

එබැවින් එම නියෝගය බලරහිත කර සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාල බුද්ධි තොරතුරු වලට අනුව ක්‍රියාමාර්ග නොගැනීමේ චෝදනා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එල්ල වී තිබෙනවා.

ඊට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතිශෝධන පෙත්සම ගොනු කළා.

Your Comments