හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

18

ප්‍රදේශ තුනක සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලින් හෙරොයින් සන්තකයේ තබගෙන සිටි පුද්ගලයන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ග්‍රෑන්ඞ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ගුවන් පාලම ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 38 මිලිග්‍රෑම් 270ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කුරුණෑගල මෙහිඇල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක් පමණ වන අයෙකි.
සැකකරු අද(29) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.
මේ අතර කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කළුතර දකුණ පොලිස් වසමේ රජවත්ත හන්දිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් හෙරොයින් ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුපිට, කොළඹගේවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක් පමණ වූ අයෙක් වන අතර සැකකරු දකුණු කළුතර පොලිසිය වෙත භාරදී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අද(29) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කළුතර දකුණ පෙලිසිය විසින් සිදු කරනු ලබනවා.
ගල්කිස්ස ධර්මපාල මාවතේදී ද හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 180ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වූ දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සැකකරු අද(29) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්ධන අංශය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

Your Comments