හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

18

කළුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිස් බලප්‍රදේශයේ මඩවල ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 700ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අදාළ මෝටර් රථයද සමගින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අදාළ සැකකරුවන් කුලී පදනම මතත නවාතැන්ගෙන සිටි මඩවල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් ග්‍රෑම් 300ක් සහ මෙරට නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පතරොම් යෙදිය හැකි රිවෝල්වරයක් සමග තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
අදාළ නිවසේ තිබී හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 27 සහ 29 යන වයස්වල පසුවන පානදුර, බණ්ඩාරගම සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
කළුතර කොට්ඨාස නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබනවා.

Your Comments